At Five in the Afternoon (2003)
සටහන: යසසුරු ජයවර්ධන, වෛද්‍ය පීඨය
2003 වර්ෂයේ තිරගත වූ ඉරාන චිත්‍රපටයක් වන "ඇට් ෆයිව් ඉන් දි ආෆ්ටර්නූන්" (පර්සියානු: پنج عصر, "පන්ජ් ඉ අසර්") කාන් සිනමා උළෙලේ දී ජූරියේ ත්‍යාගය හිමි කරගැනීමට සමත් වූ සුවිශේෂී නිර්මාණයකි. මෙය තරුණ ඉරාන අධ්‍යක්ෂිකා සමීරා මඛ්මල්බාෆ්ගේ විශිෂ්ට සලරුවක් සේ සැලකේ.
ඇෆ්ඝනිස්තානයේ තලේබාන් පාලනය බිඳවැටීමෙන් වසරකට පමණ පසුව, රූගත කොට ඇති මෙමඟින් යුද්ධය නිසා විනාශ වූ කාබුල් නගරය තුළ අසරණ වූ ජනතාවගේ අපේක්ෂාවන් සංවේදී ලෙසින් නිරූපණය කොට තිබේ. ඉතා සෙමෙන් ගලායන කථා පුවතක් වුව ද, මෙහි සිටින ආධුනික රංගන ශිල්පීන්ගේ රංගනය අගය කළ යුතු වේ.
කථාවෙහි ප්‍රධාන චරිතය වන නොග්රේ (අඝේලේ රේසායි), යුද්ධයෙන් විනාශ වූ කාබුල් නුවර තුළ සිය පියා (අබ්දොල්ගානි යූසෙෆ්රාසි) සහ සිය සොයුරාගේ බිරිය වන ලෙයිලොමා (මර්සියේ අමීරි) සමඟ දිවිගෙවන්නී ය. බෝම්බ ප්‍රහාර හේතුවෙන් නටබුන් වූ නගරයේ සුන්බුන් අතර දිවිගෙවන ඇය, ට්‍රක්රථ රියදුරකු වන සිය වැඩිමහල් සොහොයුරු අඛ්තර්ගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවෙයි. පාකිස්තානයේ කඳුකර පෙදෙස්වල සිට දිනපතාම මෙම නගරය වෙත සරණාගතයන් රැගත් ට්‍රක්රථ පැමිණෙන බැවින් ඉඩකඩ සහ සෙවණ සඳහා නගරයෙහි පදිංචිකරුවන් අතර ඇතිවන්නේ දැඩි තරගයකි. වියපත් රියදුරකු වන නොග්රේගේ පියාට ඇති වටිනාම වස්තුව වන්නේ සිය අශ්වයා සහ කරත්තයයි. අඛ්තර් පැමිණෙන තෙක් සිය රෝගී ළදරුවා රැකබලාගනිමින් ලෙයිලොමා නිවසටම වී සිටියි. නොග්රේගේ කාර්යභාරය වන්නේ පවුලේ කටයුතු සඳහා අවශ්‍ය ජලය රැගෙන ඒමයි. එතරම් කටුකතා මධ්‍යයේ වුව ද නොග්රේට අස්වැසිල්ලකට මෙන්, දැඩි ආගමික ගතානුගතික අදහස් දරන්නකු වන ඇගේ පියා, ඇයට ආගමික පාඨශාලාව වෙත යාමට අවසර ලබා දෙයි.
නොග්රේගේ පියා ඇයව ඇතුළත් කරන ආගමික පාඨශාලාවෙහි වූ නිල් බුර්කා හැඳි සිසුවියෝ කුර්ආන පාඨ ගායනා කරන අතර, එහි දී ස්ත්‍රීන් තුළ ඇති පහත්භාවය සහ පාපී ස්වභාවය නිරතුරුව මෙනෙහි කරති. නමුත්, නොග්රේ සෑම දිනකම එම පාසලේ පැති දොරින් පිටවගොස් යාබද නූතන බාලිකා පාසලක රහසේ ඉගෙනුම ලබන්නී ය. මෙම නූතන පාසල මඟින් ශිෂ්‍යාවන්ට ප්‍රශ්න නැඟීමේ වැදගත්කමත්, සිය අනාගත ඉලක්කයන් ගොඩනඟා ගැනීමේ වැදගත්කමත් අවධාරණය කරයි. එහි ගුරුතුමිය සිය සිසුවියන්ගෙන් සිය අනාගත අපේක්ෂාව කුමක්දැයි විමසයි. එහි දී ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය සේම ජනරජයේ ජනාධිපතිනිය යන යෝජනා ද අසන්නට ලැබෙයි. පුරුෂයකුට සේම ස්ත්‍රියකට ද ජනාධිපති වීමට හැකි බව නොග්රේගේ විශ්වාසයයි. ඇතැම් සිසුවියන් පවසන්නේ දරුවන් බලාගනිමින් දිවිගෙවන බුර්කා හඳින ස්ත්‍රීනට ජනපතිනියක විය නොහැකි බවයි. නමුත් කාන්තාවන්ට ද ස්වාධීනව කටයුතු කිරීමට අයිතියක් ඇතැයි සිතන නොග්රේ ජනපතිනියක වීමට අදහස් කරයි.
තමන් පෙර විසූ ස්ථානය ජනාකීර්ණ වූ බැවින් ඇගේ පවුල කාබුල් හි නටබුන් වූ මන්දිරයක නවාතැන් ගනියි. ඇය සිය පියා පෙනෙන්නට නොමැති විට එහි වූ බරාඳයෙහි සක්මන් කරන්නේ ඇගේ රහසිගත "විශේෂ" සුදු පැහැ අඩි උස පාවහන් යුගල පැළඳ ය. ජනාධිපතිවරුන් කථා පවත්වන්නේ කෙලෙසදැයි ඇයට දැනගන්නට ඇවැසි වේ. ඒ අනුව ඇය බෙනාසීර් භුතෝගේ අග්‍රාමාත්‍යවරිය පැවැත්වූ කථාව පිළිබඳ පාකිස්තානි සංක්‍රමණිකයන් වෙතින් විමසන මුත් කිසිවකු ඒ පිළිබඳ උනන්දු නොවේ. නමුත් ඇගේ අධිෂ්ඨානය දකින තරුණ සරණාගත කවියකු (රාසි මොහේබි) ඇයට උපකාර කරන්නට ඉදිරිපත් වේ. ඔහු ඇයට කථා පැවැත්වීමට උපදෙස් දෙන අතර, ප්‍රචාරණ කටයුතු සඳහා ඇයව ඡායාරූප ලබාගැනීමට ද රැගෙන යයි. මෙලෙසින් මෙම චිත්‍රපටයේ කථාපුවත හුදු ෆැන්ටසියක්ම නොව, ප්‍රේක්ෂකයාට ද සිහින මැවීමට පොළඹවන කලාකෘතියක් බවට පත්වේ.
මෙම සිනමාපටයෙහි නාමය ෆෙඩරිකෝ ගාර්සියා ලොර්කා නම් ස්පාඤ්ඤ කවියාගේ පද්‍යයක පළමු පේළිය ඇසුරින් යෙදුණකි. එම කවිය නොග්රේ හට කියාදෙන්නේ ඇගේ මිත්‍ර පාකිස්තානි කවියා විසිනි. මෙම චිත්‍රපටයෙහි දිස්වන තවත් අපූර්ව අවස්ථාවක් ලෙස නොග්රේ සහ නටබුන් මාලිගය අසල මුර සංචාරයෙහි යෙදෙන ප්‍රංශ සාමසාධක සොල්දාදුවා සමඟ සිදුවන කතාබහ සැලකිය හැකියි. ඇය කැඩුණු ඉංග්‍රීසියෙන් ඔහු සමඟ පිළිසඳරෙහි යෙදෙන්නට දරන උත්සාහය තුළින් ඇගේ නිර්ව්‍යාජ බව ඉස්මතු වේ.
අධ්‍යක්ෂිකාව අරමුණු කළ අයුරින්ම, මෙහි එන චරිත හුදු ‘ඇෆ්ඝන්වරුන්’ හෝ ‘පීඩිතයන්’ හෝ ‘මුසල්මානුවන්’ ලෙස නොව, වඩා සංකීර්ණ පුද්ගල චරිත ලෙසින් නිරූපණය කොට ඇත්තේ ය. එසේ වුවද, ඇය මෙහි ඒ ඒ පුද්ගල චරිතය පිළිබඳ විනිශ්චයක් ඉදිරිපත් කරන්නේ ද නැත. චිත්‍රපටයෙහි එන මූලධර්මවාදී ගතානුගතික අදහස් දරන වියපත් ප්‍රජාව සේම, නව අදහස් දරන තරුණ ප්‍රජාව පිළිබඳව ද අනුවේදනීය අයුරින් නිරූපණය කොට තිබේ. එසේවුව ද, ප්‍රේක්ෂක අනුකම්පාව නිතැතින්ම යොමුවන්නේ වෙනස් ලොවක් පිළිබඳ සිහින මවන නොග්රේ සහ විඩාපත් ලෙයිලොමා වෙතයි. එහි ලෙයිලොමාගේ චරිත නිරූපණය කරන මර්සියේ අමිරීගේ මුහුණෙහි දුක්ඛිත ස්වරූපය එම චරිතයට කදිමට ගැළපේ.
නොග්රේ ලෙස රඟන රේසායි මුහුණින් එතරම් හැඟීම් නොපෙන්වුව ද, අගේ සිනහව සහ සන්සුන් බව චරිතයට ආලෝකයක් ගෙන එයි.
අවසන් වශයෙන් කිවයුත්තේ මෙම සලරුවෙහි ප්‍රබලත්වයට පුද්ගල චරිත මෙන්ම එහි වූ දර්ශන තලවල ස්වභාවය ද දායක වී ඇති බවයි. ඉරාන සිනමාවෙහි අනර්ඝ නිර්මාණයක් වන මෙම සලරුව නැරඹීමට උචිතය.
අධ්‍යක්ෂණය: සමීරා මඛ්මල්බාෆ්
රචනය: මොහ්සෙන් මඛ්මල්බාෆ්, සමීරා මඛ්මල්බාෆ්
චරිත නිරූපණය: අඝේලේ රේසායි, අබ්දොල්ගානි යූසෙෆ්රාසි, රාසි මොහේබි, මර්සියේ අමීරි
මුදාහළ දිනය: 2003 මැයි 16 (කාන් සිනමා උළෙලේ දී)
ධාවන කාලය: මිනිත්තු 105
භාෂාව: දරී පර්සියානු

Comments
Post a Comment