*අන්ධකාරයේ දවසක්*
ජීවිතේ නිරන්තරයෙන් පාහේ මා හට සිතෙන එක් දෙයක් ඇත. ඒ අප කොතරම් වාසනාවන්ත ද යන්න යි. මා මේ පවසන්න වෙර දරනුයේ මා දිනපු ලොතරැයියක් පිළිබඳ ව නම් නොවේ. මා මේ අදටත් ජීවත් වී සිටීම පිළිබඳව ය. ඉතින් එය මෙසේ අකුරු කරමි.
"අම්මා... අක්කා... තාත්තා... කොහේදෝ ඔයාලා...? "
මල්ලි බෙරිහන් දෙන්න පටන් ගත්තේ එසේ ය. කොතරම් වයසින් මුහුකුරා ගියත් ඔහු කළුවරට අසීමිත ව බය ය.
"අයියෝ ඔන්න ලයිට් ගියා අනේ. උයන්න ගත්තා විතරයි "
අම්මා ද මැසිවිලි නැඟුවා ය. මා ද පැන්සලක් අතට ගත්තේ ඇනවුමකට ආ ඡායාරූපයක් සිතුවම් කරන්නට ය.
" හා හා ඉතින් ඕකට ඔච්චර කෑ ගහන්න ඕනි ඇයි? අපි ඒ කාලේ හිටපු කළුවර දන්නෙ අපි විතරයි."
තාත්තා පුටුවකට හරිබරි ගසමින් පවසන්නට විය.
" ඇයි තාත්තා, ඔයාලට ලයිට් කවදාවත් තිබ්බෙ නැද්ද ?"
" අපි ඒ කාලේ පාඩම් කළේ කුප්පි ලාම්පුවෙන් තමා. හැබැයි ලයිට් තිබ්බා කියලත් ලයිට් දාගෙන අපි කොහොම ඉන්නද ළමයෝ? හවස හය වෙද්දි කැලෑ ගානේ හේන් ගානෙ බඩ ගාපු අපිට මොන ලයිට් ද ?"
මල්ලි නැඟූ ප්‍රශ්නයට තාත්තා දුන් පිළිතුර එයයි. එහි කිසියම් ගැඹුරක් ඇතැයි මට සිතුණි.
" මොනවා! ඒ ඇයි තාත්තලට ගෙදරක් තිබුන් නැද්ද? "
" තිබුණා... තිබුණා... ඇයි ඔය පොඩි බාප්පා දැන් ඉන්න ගෙදර තමා අපේ මහගෙදර. මං කිව්වේ ඒක නෙවෙයි. කොටි ගැනයි මං කිව්වේ. ඒ කාලේ අපි කොච්චර නම් බයෙන් ද හිටියේ... යුද්දේ ඉවර නොවෙන්න අද අපි ජීවතුන් අතර නෑ. "
තාත්තාගෙත් මල්ලිගේත් සංවාදය ගලා ගියේ එසේ ය.
මම, තිස් වසරක කුරිරු කොටි ත්‍රස්තවාදී කලබල තදින් ම පැවති උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිත ව ජීවත් වූ අයෙක් මි. දෑසින්ම බෝම්බ ප්‍රහාර, වෙඩි වරුසා දැක නොතිබුණ ද විදුලිය විසංධි වූ සෑම දිනෙක ම පාහේ මාගේ තාත්තගේ මුවින් නිතර පිටවන වචනවලින් එය මනසින් දුටුවෙමි. ඔහුට කළුවර යනු, අතීතය සිහිපත් වන කාලයකි. ඉදින්, එවැනි දිනවල ඔහු ළඟට වී මල්ලීත්, මාත් හරිබරි ගැසී වාඩි වන්නෙ එකල කතා ඇසීමට ය. කුඩා කල ඒවායෙහි තේරුම හරි හැටි නොතේරුණ ද අවුරුදු විසි දෙකක් වූ මට දැන් එහි ගැඹුර තදින් ම දැනේ.
තාත්තා අදට ද නිතර ම පවසන කතාව වන්නේ 'කෙසෙල් ගස් ලන්දේ සිට දිවි බේරාගත් කතාව ය.' අසා සිටින විටත් ලොමු ඩැහැගන්වන එය ඔහු දෑසින් දුටු සිදුවීමකි. ඔහුට අනුව තාත්තාගෙ මහගෙදර ඉදිරිපිට අහිංසක මිනිසුන් 17 ක් කුරිරු කොටි ත්‍රස්තවාදීන් විසින් පෝළිම් කර වෙඩි තබා ඇත. එවකට දහහත් හැවිරිදි වියේ සිටි ඔහු මෙය කෙසේ බලා සිටියේ දැ'යි මා නොදනිමි.
" එදා හමුදාව එවේලේ ම ආවේ නැත්තම් අද අපිත් නෑ "
ඒ තාත්තා අවසානයේ දි පැවසූ වාක්‍යයි. තාත්තා එකල කොටි ත්‍රස්තවාදී නිසා විඳි ගැහැට මෙතෙකැයි සීමා කළ නොහැකි ය. යුද්ධය එබඳු ය. තුවාලයේ වේදනාව දන්නෙ තුවාලය තියෙන මිනිහා ය.
ඉදින් අද මැයි දහ නව වැනි දා ය. මා හට මේ සිද්ධි දාමය සිහිපත් වූයේද එබැවිනි. තාත්තා එසේ විඳි අත්දැකීම් සේ ම මා ද විඳි අත්දැකීම් අපමණය. ඒවා සිහිපත් කිරීම පවා දෑසට කඳුළු
පිරෙන්නට හේතුවකි.
"අක්කී....හෙට අපි ඔහේ එනවෝ ඔයාලව බලන්න..කිරි අලුවා හදලා තියෙන්න ඈ... "
ඒ සුදු මල්ලී ය. 2009 සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර දින එනම් අප්‍රේල් 12 වන දින උදෑසන ගත් දුරකථන ඇමතුමෙන් ඔහු එසේ කීවද, මේ කතාව ලියන විටත් ඔහු තව ම ආවේ නැත. එදින ම සවස් වරුවේ නන්නාඳුනන දුරකථනයකින් ඇමතුමක් ආවේ ය.
"බාප්පා..ලොකු අප්පච්චිලට වෙඩි වැදුණා. අපි ඉන්නෙ මේ හැංගිලා."
එසැණින් ඇමතුම විසංධි විය. ඒ ගැන තවත් කිව යුතු නැත. අලුත් අවුරුද්දට අපිව බැලීමට එනවා' යි කියූ ඔවුහු සියල්ලෝ ම අප්‍රේල් දහතුන් වැනි දින එක ළඟ මිනී පෙට්ටිවල සුදුහැඳ වැතිරී සිටියහ. එදා බුත්තල මහගොඩයාය ගම්මානය ම එක ම අඳෝනාවකි. එදා සිහියක් නැතුව සිටි මගේ හිත තවමත් කීරි ගැහෙන්නෙ අවුරුදු එකහමාරක පුංචි පැටියෙකුගේ හිස ගහක ගසා මරා දැමූ සිද්ධිය මතක් වීමෙනි. දක්ෂ පෙදරේරුවෙකු වූ ලොකු තාත්තා තැනූ නිවසේ අපි තවමත් ජීවත් වන්නෙමු. නමුත් ඔහුත් ලොකු අම්මාත් සුදු මල්ලීත් අද නැත. මා මේ පැවසූවේ එක් කතාවක් පමණි. මා දෑසට දුටු තවත් සිද්දියක් වූයේ හමුදාවට ගිය ඉන්දික අයියා නැවත ගෙදර ආ සැටි ය.
" ඔය ඔළුව හදලා තියෙන්නෙ පුළුං පුරවලා... මොළ කෑලි එළියේ ලු තිබුණේ"
එදා මා සවනත වැකුණේ එබන්දකි. තවත් ඒ ගැන අකුරු කරන්නට මා හට සිත් නොදේ.
" සිරිසේන ලොකුතාත්තාත් එදා හොරොව්පතානට ගිහින් එන්න ගියේ. රොටවැවේ දි තමා වෑන් එකට බෝම්බ ගැහුවේ."
තාත්තා ඔහුගේ තවත් සොයුරෙකුගේ වියෝව පැවසුවේ එලෙසිනි. අඳුරේ වුව ද ඔහුගේ දෙනෙතේ රැඳි කඳුළු මම දිටිමි. දිනක් මල්ලි හම්බෙන්නට සිටිය දී බඩගෙඩිය ද උස්සන් මා රැගෙන දිව ගිය අම්මා මතක්වී මට ද ඉබේ ම කඳුළු නැඟුණි.
මා පැවසුවේ තිස් වසරක මුළු මහත් කතාවෙන් දශමයක කොටසක් පමණි. බඩදරු අම්මාවරුන්ගේ කුස කපා එළියට ගත් බිළිඳුන් පෙති ගැසූ කතාවන්, දරුවන් පොළවේ ගැසූ කතාවන්, අවිහිංසක ජීවිත කපා කොටා වෙඩි වරුසාවෙන් ලෙයින් තෙත් කළ කතාවන් තව අපමණ ය.
"ඔන්න ලයිට් ආවෝ...." මල්ලි ඔහුගේ මිණිගෙඩි කටින් කෑ ගැසුවේ ය.
" අම්මෝ ඇති යන්තම් ආවා කරන්ට් එක" එසේ කීව ද ,අම්මා සුදු සහල් බතට වැව් කරවලත්, සම්බෝලයකුත්, රස ම රස පරිප්පුවකුත් සදා නිම කර ඇත.
"හා හා දැන් බත් කන්න එන එකයි තියෙන්නෙ " අම්මා පැවසූවේ තරමක් ආඩම්බරයෙනි. මේ සියල්ලට ම වඩා මා ඇය ගැන ආඩම්බර වන්නෙ කුරිරු කොටි කලබල පවතින් කාල වකවානුවක වුව, ඇය තාත්තා වෙනුවෙන් කන්ද උඩරට සිට නැගෙනහිරට ගොඩ බැසූ නිසාවෙනි.
ඉදින් යුද්ධය නිමා වී අදට වසර දොළහකි. වසර සිය දහස් ගණන් ගත වුව ද උණු කඳුළු ඉඳහිට තවමත් වැටේ. පවසන්නට ඇත්තේ එකම දෙයකි. මගේ මව්බිමේ අවිහිංසක ජීවිත වෙනුවෙන් දිවි පරදුවට තබා හෙළ සටනට ගිය රණවිරුවන් අපට මිහිපිට දෙවියන් ම ය. ඔවුන් නො සිටින්නට අද මේ කතාව ලිවීමට කෙනෙක් ද නැත. මගේ මව්බිම වෙනුවෙන් දිවි පිදූ සුවහසක් රණවිරුවන් මෙන් ම, ආබාධිත වූ රණවිරුවන්ට උපහාර පිණිස මෙය හේතු වේවා යන්න මගේ එක ම පැතුම යි!
සඳලි ජයරත්න,
ශාස්ත්‍ර පීඨය.

Comments
Post a Comment