සොයුරු පෙම

සචිනි තිලංගිකා ඉරුගල්බංඩාර විද්‍යා පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සොයුරු පෙම "මේ ඕයි අක්කේ. මොකක්ද බන් තමුසෙගේ අර ශැම්පු එක." "මොන ශැම්පු එකද? ඇයි මොකක්ද අවුල?" "අර සුදු පාට බෝතලයක් තියෙන්නෙ මැද්දෙන් රෝස පාට ඉරක් එහෙම ගිහින් ඒක බන්. බෝතලෙන් බාගයක් ගෑවත් පෙණ එන් නෑ බන්. " "ඒක ශැම්පු නෙවෙයි මී හරකෝ. නොදන්න රෙද්දවල් ඔලුවේ ගාන්න කලින් අහනවකෝ. බලනවා අපරාදේ නාස්ති කරලා නේ. 3500ක් බන් ඕක. කාලානේ. " "3500. කන්ඩිශනර් කියන්නේ මොනාද? පෙණ එන්නැති ශැම්පු එකක් දීලා උබව රවට්ටලා බන්. ඊයා බන්." " තමුසෙට මම අද. ඔහොම ඉන්නවා දුවන් නෑ. " මේ රණ්ඩු අස්සේ මාව අදුන්වලා දෙන්නත් බැරිවුණානේ. මම ශානු. වයස අවුරුදු 27යි. මධ්‍යම පාන්තික පවුලක බූරු පැටව් දෙන්නෙක්ට අක්කා උන පවුලේ එකම හුරුබුහුටි කෙල්ල. කලින් මගේ කන්ඩිශනර් බෝතලේ ඉවර කරා කිව්වේ මගේ චූටි බූරු පැටියා හෙවත් අපේ අම්මගේ හුරතල් චූටි කොලු පැටියා. "අම්මේ අක්කා ගහන්ඩ එනෝ." චූටි මල්ලි කෑ ගහගෙන ගියේ අම්මා ගාවට. "අනේ අම්මපා හෙට අනිද්දා දීග යන්ඩ ඉන්න ලමිස්සියක්නේ මේ නලියන්නේ. අණ්ඩක් කඩාගනින්කෝ මයේ අම්මා. උඹට පෝරුවේ ඉන්ඩ වෙන්නේ අත පය එල්ලගෙන ඕන් මන් කිව්වා. " අම්මගේ කටවහ වැදිලා ම ද මන්දා ගෙම්බා පොලේ ගැහුවා වගේ මන් ඇදගෙන වැටුණා. අම්මයි චූටියි ලොකුයි හොදටම හිනා වෙනවා. මේක නම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දෙයියනේ. "තමුසේ මොකද මේ සකලබුජං වගේ කොට කලිසමකුත් ඇදගෙන බිම බඩගාන්නේ. පොඩි කාලේ බඩගාපු නැති ඒවගේ ඇරියස් කවර් කරනවද? " ඒ ආදරණීය ආමන්ත්‍රණය කනට මී පැණි වක්කරනවා වගේ නේද? ඔච්චරයි අඩුවට තිබ්බේ. ඒ තමයි මා ප්‍රිය අනාගත ස්වාමිපුරුෂයා හෙවත් මගේ අනන්තෙන් ආ තරු කුමරා සිතුම්. මේ මනුස්සයට වත් හිතෙන් නෑනේ අතදීලා මාව නැගිට්ටවන්න. මස්සිනාලා නැන්දම්මලා එක්ක සෙට් වෙලා මට හිනා වෙවි ඉන්න හැටි විතරක්. මෙන්න මේ වෙලාවට තමා මට මූ එක්ක යාලු උනේ අපරාදේ කියලා හිතෙන්නේ. ඒ කාලේ අහිංසකයා වගේ මගේ පස්සෙන් ආවේ කොහොමද? දැන් බලහල්ලකෝ. හැබැයි ඉතින් ඌ හරි පස්සෙන් ආවේ නැත්තම් මන් තාම තනිකඩයිනේ. කවුරුත් අත දෙන් නැති නිසා තමන් හිසට තම අතමය සෙවණැල්ල කියලා මං ම නැගිටලා කට්ටියට ම ඔරවලා කාමරේට ආවා. " ගස්සගෙන ගියාට කමක් නෑ. විනාඩි පහළොවකින් ලෑස්ති වෙලා එනවා. ගමනක් තියනවා යන්ඩ." අම්මා කිව්වා වගේ අනිද්දා තමා මගේ වෙඩින් එක. මේ ටිකේ ම ඒකේ වැඩ වලට එහෙට මෙහෙට දුවල ම හති වැටිලා ඉන්නේ. අපි දෙන්නගේ එෆෙයාර් එක පටන් ගත්තේ කැම්පස් කාලේ. අපි දෙන්න ම එක ම කැම්පස් එකේ. එයා අපේ සීනියර් බැජ් එකේ. මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. අච්චර හොඳ ලස්සන කෙල්ලෝ ඉන්න බැජ් එකෙන් මුගේ හිත ගියේ මට. අන්න ඒක ගැන හිතද්දි නම් පොඩි ආඩම්බරේකුත් දැනෙනවා. ඒ උනාට වෙලාවකට මට ම හිතෙනවා මන් කරන බාලාංශ වැඩ ඉවසගෙන මාත් එක්ක ඉන්නවට මුට තෑග්ගක් දෙන්න. පව් ඉතින් කවුරු උනත් අහිංසක ජීවිතයක්. මං ඉතින් මෙහෙම අනම් මනම් කිව්වට මං එයාට ගොඩාක් ආදරෙයි හරි ද? සිතුම් අයියලගේ අම්මා නම් හිතන් ඉන්නේ මං හරිම අහිංසක යි කියලා. සිතුම් අයියා කියනවා මං එයාලගේ අම්මට ඉනාවක් කවලලු. කොහොමහරි ඉතින් නැන්දම්මා නම් මට හරි ආදරෙයි ඔන්න. ඉක්මනට ම කසාද බදින්න අපි දෙන්නට නම් කිසිම උවමනාවක් තිබ්බේ නෑ. ඒ උනාට අපේ අම්මලාට මේ චූටි මාව ඉක්මනට ම බන්දන්ඩ ඕනේ කියලා බර බරේනේ. ගෙදර ඉන්ඩ තියෙන අන්තිම දවස් දෙකෙත් ගෙදර ඉන්න නිදහසක් නෑ. වැඩ වැඩ වැඩ. කොහොමත් දවසෙන් වැඩි හරියක් අපි දෙන්නා ඉන්නේ පාරේ. එදා දවසත් ඇහැපිය ගහනවටත් වඩා වේගෙන් පාරට ම දියවෙලා ගියා. ගෙදර ඉන්න අන්තිම දවසත් උදා වුණා. උදේ නැගිට්ට ගමන් චූටි දුවගෙන ආවේ මගේ කාමරේට. "මේ අක්කේ. තමුසේ ගියාට පස්සේ තමුසේගේ කාමරේ මන් ගන්නවා හරිද? " "තමුසෙලටත් ඕනේ මාව එලවගන්ඩ නේද? " "අම්මෝ තමුසේ යන එකමයි හොද. තමුසෙගේ අර හරියට නමකවත් නැති කෑම ජාති කාලා එපා වෙලා හිටියේ. පව් ඉතින් අර අහිංසක මස්සිනා. ඌ ඉතින් දැන් ජීවිත කාලෙ ම ඕවා කන්ඩ එපැයි. " "තමුසේ නම්. යනවා යන්ඩ මන් තරහම තරහයි. " ගෙදර ඉන්න අන්තිම දවස නිසාද මන්දා මට පුදුම විදියට දුක හිතෙනවා. "චූටි. අක්කව අඬවන් නැතුව එලියට යනවා. " ඒ ලොකූ. "ඒ අඬන්න එපා බන් අක්කේ. ඌ ඔය සිරා නෙවෙයි කියන්නේ කියලා උබ දන්නවනේ. ඌ ඔහොම කියන්නේ ඔයාව අවුස්සන්ඩ. උඹ ගියාට පස්සේ වැඩියෙන්ම අඬන්නේ ඌ. ඕන් බලහන්කෝ බොරු නම්. " එහෙම කියපු ලොකූ මගේ ඔලුවත් අතගාලා යන්න ගියා. මගේ කදුලු පිහින්න තරම් උන් දෙන්නා දැන් ලොකු වෙලා. චූටි මල්ලි දඟ කටකාර චරිතයක් උනාට ලොකු මල්ලිට තිබුණේ වැඩි කතාබහක් නැති අහිංසක නිවුණු චරිතයක්. පොඩි කාලේ මුන් දෙන්නව කරේ තියාගෙන ගියේ මම. ඒ දෙන්නා මට මගේ දරුවෝ ගානයි. පොඩි කාලේ දෙන්නව ම ෆුට් බයිසිකලේ තියාගෙන ගම පුරා රවුම් ගහනවා මන්. ඒවා මතක් වෙද්දිත් කඳුලු පොරකන්නේ එලියට පනින්න. පපුව ලෝදිය හැලිය ගානයි. කොහොමහරි ඒ දවසත් ගෙවිලා ගියේ මගේ හිනා කඳුළු මැදින්. අද තමා මගේ වෙඩින් එක. උඩරට මනාලියක් විදියට හැඩගැන්වුනු මම කණ්ණාඩියෙන් බලන් හිටියේ මගේ ම ප්‍රතිබිම්බය දිහා. නොකිව්වට මගේ පොඩි ලස්සනකුත් තියෙනවද මන්දා. "අක්කේ ලෑස්තිද?" "ඒ චූටි. මෙහෙම හොදයිද බන්. ලස්සනයිද?" "පොටි ගැහුවා කියලා උපන් කැත යවන්ඩ බෑ බන්. " චූටි එහෙම කිව්වේ දිව දික්කරන ගමන්. "මුගේ බොරු අක්කේ. ඔයා කොහොමත් ලස්සනයි. පිස්සු කෙලින් නැතුව මෙන්න මෙහෙ එනවා යන්ඩ." පෝරුවේ නැගලා අතැගිලි බැදලා මං සිතුම් අයියාගෙ ම උනා. පෝරුවේ චාරිත්‍ර එහෙම ඉවර කරලා දවල් වරුවේ මං දිග රතු පාට ගවුමකට මාරු උනේ එක දවසින් අපේ වෙඩින් එකේ වැඩ ඉවර වෙන නිසා. ණය වෙලා ලක්ෂ ගණන් වලින් දවස් ගනන් ජයට මගුල් කනවට වඩා ඒ සල්ලි අපේ අනාගතයට ඉතුරු කරන එක හොඳ යි කියන එක තමා අපි දෙන්නගේ තීරණය වුණේ. පෝරුවට නැග්ග වෙලේ ඉදන් මේ වෙනකන් මන් මල්ලිලා ව දැක්කේ නෑ. මේ ගවුම උස්සන් ඇවිදින්ඩත් බෑ. ඇවිදින්න ගිහින් වැටුනොත් එහෙම අපේ උන් පත්තරේටත් දායි. 'විවාහ දිනයේදී කොන්ද කඩාගත් යුවතිය' කියලා. සිතුම් අයියා නම් යාලුවෝ සෙට් එකක් එක්ක කෝප්ප හෝදනවා. ටිකෙන් ටික වෙලාව ගෙවිලා පිටත් වෙන නැකතත් උදා වුණා. අම්මට යි තාත්තට යි දණගහලා වැදපු මට මගේ කදුළු නවත්තගන්න බැරි වුණා. වෙලාවකට හිතෙනවා ගෑනු අපි කොච්චර දුකක් උහුලනව ද කියලා. තමන්ගේ දෙමව්පියන්ගෙන් ප්‍රාණසම සහෝදර සහෝදරියන්ගෙන් ඈත්වෙලා වෙන ගෙදරකට ගිහින් ඒ ගෙදර මිනිස්සු තමන්ගේ කරගෙන ජීවත්වෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අම්මවයි තාත්තවයි වැළඳගෙන අඬපු මගේ ඇස් ඊළඟට හෙව්වේ මගේ මල්ලිලා දෙන්න ව. ඒ එක්කම මගේ ඉස්සරහට ආව ඒ දෙන්නා මගේ අතට දුන්නේ පොඩි ඇල්බම් එකක්. මන් ඒක පෙරලලා බැලුවා. ඒක පුරාම තිබ්බේ පොඩි කාලේ ඉදන් මේ වෙනකන් අපි තුන් දෙනා කියපු කරපු දේවල් ගොඩක මතක සටහන්. "අක්කේ උඹට යන්නම ඕනෙද බං. " ඒ චූටි මල්ලි. කවදාවත් නැතුව මගේ චණ්ඩියෝ දෙන්නගේ ඇස් වල කදුළු පිරිලා. "අනේ යන්ඩ එපා අක්කේ. තමුසේ ගියාම මං රණ්ඩු වෙන්නේ කාත් එක්කද? මං ආපහු තමුසේගේ කන්ඩිසනර් එක ගාන්නෙත් නෑ. තමුසෙට අනම් මනම් කියන්නෙත් නෑ. තමුසේ හදන කෑම ජාති ඔක්කොමත් මුකුත් කියන් නැතුව කන්නම්. මන් පොරොන්දු වෙනවා. අනේ යන්ඩ එපා අක්කේ. අපිට ඔයා නැතුව ඉන්ඩ බෑ." ගඟක් ගානට ඇස් වලින් කදුළු ගලද්දි මන් මගේ මල්ලිලා දෙන්නව වැලදගත්තා. "අක්කා ගියාට මල්ලිලාව බලන්න එනවනේ. දැන් අඬන්න එපා. අක්කට දුක හිතෙනවනේ. ලොකු කොල්ලො නේද? අනේ අඬන්න එපා රත්තරනේ අක්කටත් ඇඬෙනවානේ. " මල්ලිලා දෙන්නට එහෙම කිව්වට මටත් උහුලන් ඉන්ඩ බෑ. ඇස් වලින් කදුළු වාන් දානවා. මුන් දෙන්න නැතුව හුස්මක් ගන්නේ කොහොමද මම. "මස්සිනා. අපි මේ උඹට දුන්නේ අපේ පණ. මේකිගේ ඇහෙන් එක කදුළක් හරි වැටුනොත් අන්න එදාට අපි යක්කු ගානට වැටෙයි හරිද? " "අක්කේ මේ තමුසේ ඔය ඇල්බම් එක එහෙම නැති කරගන් නෑ හරිද? ආහ් මේ අනිත් එක තමා මායි චූටි කෝල් ගද්දි ආන්ස්වර් කරේ නැත්තම් එහෙම කෙලින්ම මස්සිනා ගාවට ගිහින් දෙකක් ඇනලා එන්නේ හරිද? ආයෙත් පාරක් මල්ලිලා ව වැළඳගත්ත මම සිතුම් අයියා එක්ක එතනින් ආවේ රිදුම් දෙන පපුවක් දරාගෙන. මල්ලිලාගේ ආදරේ එහෙම යි. ඒ ආදරේ දෙවෙනි වෙන්නේ තාත්තා කෙනෙක්ගේ ආදරේට විතරයි. සිතුම් අයියත් මට ගොඩාක් ආදරෙයි. ඒක මම දන්නවා. හැබැයි මගේ මල්ලිලාගේ ආදරේට නම් එයාට කිට්ටුවෙන්නවත් බැරිවෙයි. ඒක නම් ගලේ කෙටුවා වගේ ස්ථීර යි.

Comments