චෝඛේර් බාලි: ඇසෙහි රැඳුණු වැලි (2003)
চোখের বালি
සටහන: යසසුරු ජයවර්ධන, වෛද්‍ය පීඨය
විසිවන සියවසේ මුල් භාගය ඉන්දියානු උපමහාද්වීපයේ නොයෙකුත් පිබිදීම් මෙන්ම කලබලවලින් ද පිරි කාලයක් විය. දේශපාලනිකව බෙංගාලය පැවතියේ වඩාත් ව්යසනකාරී තත්ත්වයක ය: ඉන්දියාවේ බ්රිතාන්ය පාලකයෝ එය බෙදා වෙන් කරන්නට උත්සාහ දරද්දී සමාජ සහ කුටුම්භීය වටිනාකම් පරිහානියට පත් වන්නට විය.
මේවන විට සිය සතළිස් වියේ මුල් කාලයේ සිටි රබින්ද්රනාත් තාගෝර් එකල විසූ අතිශයින්ම නිර්මාණශීලී ගත්කතුවරයකු ලෙස සැලකේ. මෙම සමාජ විපර්යාසයන් සහ ජනතා අසහනය යනාදී විෂයයන් කෙරෙහි සංවේදී වූ හෙතෙම කෙටි කථා සහ නවකථා ගණනාවක් රචනා කළේ ය. මේ අතර චෝඛේර් බාලි, නෂ්ටනීර් සහ ඝරේ භෛරේ වැනි නිර්මාණ වැදගත් වේ. ගතානුගතික සම්ප්රදායයන් සහ අගයයන් බිඳහෙලීම ඔහුගේ මෙම නිදහස් නිර්මාණවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. මේ අතර ආත්ම තෘප්තිය සහ අනියම් සම්බන්ධතා වැනි තේමාවන් දක්නට ලැබේ. වැන්දඹුවන්ගේ විවාහ, අධ්‍යාපනය සහ යුරෝපීය මිෂනාරි බලපෑම සමාජය තුළ විප්ලවකාරී අංගයන් විය.
තාගෝර්ගේ චෝඛේර් බාලි ඇසුරින් රිතුපර්ණෝ ඝෝෂ් නිර්මාණය කළ සිනමා අනුවර්තනය තුළින් ද නිරූපණය වන්නේ සියවස් ගණනාවක් පුරා මුල්බැස තිබූ මානව විශ්වාසයන් සහ සමාජ ක්‍රමයන් විසිවන සියවසේ ආරම්භයත් සමග විපර්‍යාසයන්ට ලක්වන ආකාරයයි. සිය තිර පිටපත තුළ ඝෝෂ් ජාතිකවාදී මූලධර්ම තුළ සයවිධ මානව ආශාවන් අතර නැඟෙන සබැඳියාව මැනවින් නිරූපණය කොට තිබේ.
නොබෙල් සාහිත්‍ය සම්මානලාභී ඉන්දියානු කර්තෘ රබින්ද්‍රනාත් තාගෝර් විසින් 1903දී රචිත මෙම නවකථාවෙහි සිනමා අනුවර්තනය තුළින් දිගහැරෙන්නේ ඉන්දියානු සමාජයේ කාන්තාවන්, විශේෂයෙන්ම වැන්දඹු ස්ත්‍රීන් කෙරෙහි සමාජයේ පවත්නා ආකල්පය මධ්‍යයේ "සිය හැඟීම් අතර අතරමංව සිටින තරුණ තරුණියන් සිව්දෙනකුගේ" කථා පුවතයි. එයට පසුබිමෙන් බ්‍රිතාන්‍යයන් විසින් බෙංගාලය දෙකට බෙදා වෙන් කිරීම සම්බන්ධයෙන් ඇතිවන දේශපාලනික අසහනකාරී වාතාවරණය සහ ජාතිකවාදී ව්‍යාපාරයන් ද දිවෙයි.
අඳුරු රතු පැහැති වර්ණ බහුලව යොදාගනිමින් අතිශයින්ම විසිතුරු අන්දමින් රූගත කොට ඇති මෙම සිනමාපටය දේව්දාස් චිත්‍රපටයේ රංගනය හේතුවෙන් කීර්තියට පත් අයිෂ්වර්යා රායි සහ රායිමා සේන්ගේ ප්‍රධාන චරිත නිරූපණයෙන් හැඩගැන්වී ඇත. මේ දෙදෙනාගේ රංගනය, කථාව මධ්‍යයේ එක් එක් චරිත සම්බන්ධයෙන් විස්තර ඇතුළත් කොට ඇති හැඳින්වීම් දර්ශන සහ කථාවේ අවසානයෙහි ඇති අසාමාන්‍යභාවය වැනි දුර්වලතා ප්‍රේක්ෂකයා හට අමතක කරවීමට සමත් බැව් පෙනේ. සමස්තයක් ලෙස ගත්විට චොඛේර් බලී ප්‍රඥාගෝචර සංවේදී නිර්මාණ කර්තව්‍යයක් බව සඳහන් කළ යුතු ය. බොහෝ කෙටි චිත්‍රපට මෙන් නොව මෙය නැරඹීම කාලය අපතේ යාමක් බව කිසිදා සිතට නොනැඟේ. එසේම තේමාව අතින් ද චොඛේර් බලී විරළ ගණයේ නිර්මාණයකි.
චිත්‍රපටයෙහි අන්තර්ගතය මෙවැන්නකි:
රූමත් තරුණ කාන්තාවක වන බිනෝදිනී (අයිෂ්වර්යා රායි) වෙනත් පුද්ගලයකු සමග විවාහ වන්නේ ඇයව විවාහ කරගැනීම ධනවත් මිතුරන් දෙදෙනකු වූ මහේන්ද්‍ර (චැටර්ජී) සහ බෙහාරී (රායිචෞධරි) විසින් ප්‍රතික්ෂේප කිරීම නිසායි. නමුත් විවාහයෙන් වසරක් ඇතුළත ඇගේ සැමියාගේ වියෝව සිදුවන්නේ ඇයව වැන්දඹුවක් බවට පත් කරමිනි. මෙකල ඉන්දියානු සමාජය තුළ වැන්දඹු ස්ත්‍රීනට හිමිවූයේ එතරම් යහපත් ස්ථානයක් නොවේ. ඇයට යළි විවාහ වීම තහනම් වූ අතර පුරුෂයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම අකැප විය. කර්කෂ ආහාර බුදීමට වූ ඇයට මස්මාළු අකැප වූ අතර ඇය අදෘශ්‍යමාන අයකු විය. රූමත්, බුද්ධිමත් සහ දක්ෂ තැනැත්තියක වූ බිනෝදිනී සිය දෛවය පිළිගන්නට මැළිවන්නී ය. සිය ගම්මානයට වී සිටින අතරතුර ඇයට සිය ඥාති නැන්දණියක මුණගැසෙයි. ඇය මහේන්ද්‍රගේ මවයි. කෙසේනමුත් අවසානයේ නැන්දණියගේ ආරාධනාව අනුව ඇය මහේන්ද්‍රගේ නිවසට පැමිණෙයි. මේ වනවිට මහේන්ද්‍ර ආශාලතා (සේන්) නම් රූමත්, බොළඳ නමුත් නූගත් ලාබාල තරුණියක හා විවාපත් වී සිටියි. නොබෝ දිනකින්ම ආශා සහ බිනෝදිනී හොඳම මිතුරියන් බවට පත්වෙති.
කෙසේනමුත් ඝෝෂ් සිය කථාපුවත වෙනමම මාවතක් වෙත රැගෙන යන්නේ රළු, නොනැමෙනසුලු සමාජ වාතාවරණය මධ්‍යයේ බිනෝදිනී, ආශා, ඇගේ සැමියා වන මහේන්ද්‍ර සහ ඔහුගේ මිත්‍ර බෙහාරී අතර ඇති ගැටලුකාරී සම්බන්ධතා නිරූපණය කොට ඇති ආකාරයෙනි. ආශාගේ සැමියා වන මහේන්ද්‍ර පරම සුඛකාමී පුද්ගලයකු වන අතර, බෙහාරී දර්ශනවාදියකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයකු ද වේ. කෙමෙන් බිනෝදිනීගේ යටපත්ව තිබූ සැබෑ ස්වරූපය හෙළිවීමත් සමග අහිංසක ආශාගේ දිවිය ද උඩුයටිකුරු වේ.
මෙසේ උචිත නාට්‍යානුසාර අවස්ථා ගළපමින් ඝෝෂ් සිය සිනමාපටය තුළින් අවධාරණය කොට ඇත්තේ සම්බන්ධතා පවත්වාගෙන යාමේදී වැදගත් මෙහෙවරක් ඉටුකරන්නේ ප්‍රේමය නොව එකිනෙකාට දක්වන සංවේදීභාවය බවයි. කෙසේනමුත් බිනෝදිනී වරදට පෙළඹෙන්නේ සිය වැන්දඹු තත්ත්වය පිළිගන්නට මැළිවන නිසා බැව් පැහැදිළි ය.
මෙහි අයිෂ්වර්යා රායිගේ විශිෂ්ට රංගන ප්‍රතිභාව සලරුව කෙරෙහි ප්‍රේක්ෂක නෙත ඇදබැඳ තබාගන්නට සමත් වන්නේ නිතැතිනි. ආශාලතා ලෙස රඟන සේන්ගේ හැකියාව ද සුළුපටු නොවේ.
චිත්‍රපටයෙහි වැඩි කාලයක් පුරාවට විශේෂයෙන් බනාරස් හි පූජා භූමිය ඇතුළත් තෙවන ජවනිකාවට පෙර ජවනිකා බොහෝමයක චරිත නිවෙස් තුළ දර්ශනවලට කොටු කරන්නට ඝෝෂ් කටයුතු කොට තිබේ. එසේවුව ද, දේශපාලන කැළඹීම, බ්‍රිතාන්‍යයන් කෙරෙහි වූ ප්‍රතිවිරෝධී ආකල්ප සහ ඉන්දියානු පවුල තුළ වැන්දඹු මවකට හිමිව තිබූ දැවැන්ත බලය එම ජවනිකා තුළ ද මනාව නිරූපණය කොට තිබේ.
නිෂ්පාදන සමාගම: ශ්‍රී වෙන්කටේෂ් ෆිල්ම්ස්
නිෂ්පාදනය: ශ්‍රීකාන්ත් මෝහ්තා, මහේන්ද්‍ර සෝනි
තිර රචනය: රිතුපර්ණෝ ඝෝෂ්, රබින්ද්‍රනාත් තාගෝර්ගේ නවකථාවක් ඇසුරිනි
සිනෙමාරූපණය: අභික් මුඛර්ජී
සංස්කරණය: අර්ඝ්‍යකමල් මිත්‍රා
නිෂ්පාදන සැලසුම: ඉන්ද්‍රනීල් ඝෝෂ්
සංගීතය: දේබජ්‍යෝති මිශ්‍රා
චරිත නිරූපණය: අයිෂ්වර්යා රායි, රායිමා සේන්, ප්‍රසේන්ජිත් චැටර්ජී, තෝටා රායිචෞධරි, ලිලී චක්‍රබර්තී, සොනාලි චක්‍රබර්තී, ශුචිතා රායිචෞධරි
...........................................................................
සටහන: යසසුරු ජයවර්ධන, වෛද්‍ය පීඨය


👏👏👏
ReplyDelete