
සටහන | වාරා
වලත් ආදරයත් අතර තියෙන්නේ පුදුම ලෙංගතුකමකි. ආදරය කරන්නෝ හමුවන්නා වූද විරහව විදින්නෝ මතක මං පෙත් තුල සැරිසරන්නා වූද සරසවි ප්‍රේමයේ අපූර්වතම සන්ධිස්ථානයකි. ඉකුත් ආදරවන්තයින්ගේ දිනයද වලට අමතක නොවන දිනයක් වනු ඇත. මන්දයත් ආදරයේ තවත් අපූර්වතම වූ මතක සටහනක් වල තුලට සම්ප්‍රාප්ත වූ බැවිනි. ඒ වනාහී ආදර වස්තුවය.
හංසයින්ටත් මං ආසයි, මට වෙඩි තියන්නේ නැද්ද, වීරයා මැරිලා, සිහින හොරු අරන්, ආපසු හැරෙන්න බෑ, බකමුණා වීදි බසී වැනි නාට්‍ය නිර්මාණයන් සිදු කළා වූ රාජිත දිසානායකගේ නිර්මාණයක් වන ආදර වස්තුව ශ්‍යාම් ප්‍රනාන්දු, තුමිඳු දොඩන්තැන්න, නදීශානී පේලිආරච්චි සහ කසුන් චතුරංග යන සිව්දෙනාගේ රංඟන ප්‍රතිභාවයෙන් ඒකාලෝක වන්නේය. 2014 රාජ්‍ය සම්මාන උළලේ හොඳම නළුවා සහ හොඳම තිර රචනය යන සම්මාන ද්විත්වය හිමි කරගත්තාවූ මෙම වේදිකා නාට්‍යය ‘වල‘ තුල වේදිකා ගත වන කල්හී ප්‍රේක්ෂකයෙකු ලෙස මා වින්දාවූ එකී රසවින්දනය මෙලෙස පාඨක ඔබ වෙත ලියා තබන්නෙමි.
උක්ත ආදර වස්තුව දිගහැරෙනුයේ නවීන් නම් වූ දේශපාලන උපදේශක තනතුරෙහි නියැළුණාවූ විශ්ව විද්‍යාල ආචාර්යවරයා වටාය. නාට්‍යයේ ආරම්භයේ පටන් ක්‍රම ක්‍රමයෙන් මෙකී නවීන් නම් වූ චරිතය නිරුවත් කොට ඔහුගේ සත්‍ය ආත්මය සමාජය ඉදිරියේ දෘශ්‍යමාන කිරීමට නාට්‍ය නිර්මාණකරුවා සමත් වන්නේය.
ආදර වස්තුව නාටකය විමසා බලන කල්හී මතුපිටින් දක්නට ලැබෙන්නාවූ කතාංගයට වැඩි අරුතක් මින් නිරූපණය වන බව මාගේ හැඟීමයි. නාටකය තුල කතිකාවට ලක් වන්නා වූ ආදරය ඔබ අප දකින්නාවූ ගැහැණිය හා පිරිමියා අතර ඇතිවන්නාවූ ශෘංගාරික ආදරයෙන් ඔබ්බට ගියාවූ ගැඹුරු ආදරයකි. එය සමාජයීක ආදරයක් යැයි හැඳින්විය හැකිය. නවීන් නම් චරිතයෙන් ඉස්මතු කරන්නාවූ ගැඹුරු දේශපාලනික පටු ආකල්පයන් උක්ත සඳහන් කළාවූ සමාජයීක ආදරයේ එක් මානයක් තුල ගැබ්ව තිබෙන්නේය. ආදර වස්තුව හුදෙක් ආදර කතාවක් නොවී ගැඹුරු දේශපාලනික විමසීමක් බවට පත්වන්නේ එහෙයිනි.
නවීන් නම් පුද්ගලයා සමඟ තවත් චරිත ත්‍රිත්වයක් සබැඳෙන්නේය. මාධවී නම් මාධ්‍යවේදිනිය විදුර නම්වූ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයා මෙන්ම සුරේෂ් නම් වූ විද්‍යුත් මාධ්‍ය හිමිකරුවා යන චරිතයන් මෙකී නාටකය පුරාවටම නවීන් නම්වූ චරිතය හා ගැටෙමින් එකී චරිතය සත්‍යාකාරයෙන් ප්‍රේක්ෂකයාට දෘශ්‍යමාන කිරීමට සලස්වන්නෝය.
මාධවී වනාහී මාධ්‍යවේදිනියකි. නමුත් ඇය නවීන් මුණගැසෙනුයේ යම් කිසි ඔත්තුකාරියක අභිප්‍රායෙනි. උක්ත චරිතය හා නවීන් මුණ ගැසීමෙන් අනතුරුව නවීන් නම් චරිතය කෙමෙන් කෙමෙන් සමාජය ඉදිරියේ නිරුවත් වීම ඇරඹෙන්නේය. මාධවී වනාහී නවීන් නම් විශ්ව විද්‍යාල ආචාර්ය වරයාගේ ගොදුරක් ලෙස දැකගත හැකිය. නිවැරදිව පැවසුවහොත් ඇය ඔහුගේ තවත් එක් ලිංගික ගොදුරකි. නමුත් මාධවී චරිතය තුල ඔහු කෙරෙහි සැබෑ ප්‍රේමයක් මතුපිටින් දක්නට ලැබුනද අභ්‍යන්තරයේ ඔහු කෙරෙහි පවතිනුයේ වෛරී සහගත සිතුවිල්ලක් විය හැකිය. තමා ලිංගික ගොදුරක්ව සිටි බව මනසේ තැන්පත් වූ ඇය ඒ පිළිබඳ වෛරී සහගත සිතුවිල්ලෙන් පසුවන්නී පීඩාවට පත්වූ ස්ත්‍රීයක් ලෙසින් ඔහු කෙරෙහි කෝපය වගුරවනවා විය හැකිය. ඇය ඔහුට එරහිව ඔත්තුකාරියක වන්නේ එහෙයිනි. ඇය ස්වකීය අරමුණ ඉටු කරගනු වස් ඔහුගේ ආදරය භාවිතා කරන්නීය.
නවීන් හා මාධවී අතර ප්‍රේමය මා කෝණ කිහිපයක් ඔස්සේ දකින්නෙමි. මාධවී ඔහුට පෙම් කරනුයේ ඔහු විවාහක පුද්ගලයෙකු බව දැනගෙනමය. ඇයට ඔහුව විවාහ කරගැනීමේ අරමුණක් නොමැති වුවද නවීන් අතහැර වෙනත් පුද්ගලයෙකු හා ඇය හාද වන්නීය. ඉන්පසු ඔහුද අතහැරි ඈ නාටකයේ සිදුවීම සිදුවන කාල වකවාණුව වන විටත් වෙනත් පුද්ගලයෙකු හා විවාහපත්ව සිටින්නීය. නවීන් නම් වූ චරිතයේ එක් සියුම් කාරණයක් පවතින්නේය. ඔහු තවදුරටත් ඇයට ආලය කරන්නේය. ඔහු ඇය ඉදිරිපිට ස්වකීය සියළුම රහසිගත සිතුවිල්ලන් ස්වකීය මනෝභාවයන් සියල්ල නිරුවත් කොට දමන්නේ එහෙයින්ය. විශ්ව විද්‍යාල තුල ලිංගික අල්ලස් ගන්නා වූ ආචාර්යවරුන් සිටිනා බව නොරහසකි. අප නවීන් නම් චරිතයද එකී මල්ලෙහි බහා තර්කනයන් ගොඩ නැඟිය හැකිය. නමුත් නිර්මාණකරුවා නවීන් තුලින් ඊට එහා ගියා වූ චින්තනයක් ගෙන එන බව මාගේ හැඟීම වන්නේය. ඔහුගේ අගතිගාමී චරිතය කෙසේ වුවද විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් අපමණ ලෙස ලිංගික ගොඳුරු ලෙස යොදවාගත්තද ඔහු මාධවී නම් තරුණිය කෙරෙහි යම් කිසි ආකාරයක වූ ආලයක් දක්වන්නේය. එය සත්‍ය ප්‍රේමය යැයි නොකියමි. නමුත් නවීන් මාධවී නම්වූ ආදර කතාංගය තුල සැබෑ ප්‍රේමවන්තයා නවීන් යන බව හැඟී යන්නේය. විමසා බැලිය යුතුය...!
උක්ත නවීන් නම් වූ චරිතයේ දේශපාලන පැතිකඩ වනාහී වෙනස්ම මඟක් ගන්නේය. විශ්ව විද්‍යාල සිසුන් ඉදිරියේ ඔහුගේ පවතින්නාවූ ප්‍රතිරූපය දේශපාලකයා ඉදිරියේ සහමුලින්ම වෙනස් වන්නේය. නව අධ්‍යාපන පනත සම්බන්ධයෙන් ඔහුගේ නිවැරදි මතය ඔහු කිසිම මොහොතක උක්ත දෙපාර්ශවය ඉදිරියේම නිරූපණය නොකරන්නේය. එමෙන්ම ඔහු ස්වකීය උපදේශක රැකියාව සුරැකීම උදෙසා කටයුතු කරනා අතරම විශ්ව විද්‍යාල අරගලකාරීන් ඉදිරියේ තම ප්‍රතිරූපට රැඳවීම උදෙසා වෙනස්ම වූ මඟක් ගන්නේය. එබැවින් නවීන් නම් වූ චරිතය ප්‍රබල දේශපාලනික කෛරාටික චරිතයක් ලෙස හුවා දැක්විය හැකිය.
විදුරනම් වූ ශිෂ්‍ය නායකයා තුලින් නිරූපණය වන්නාවූ කරුණු ද්විත්වයක් ප්‍රේක්ෂක සිත් ආකර්ශණය කරනු ඇත. පළමුවැන්න වනාහී මෙකී විදුර යන චරිතය නවීන් යන චරිතයේ අතීතාවර්ජනයක්ම වන බවයි. විදුර හා නවීන් අතර සංවාදයන් තුලින් මෙන්ම මාධවී හා නවීන් අතර ඇතිවන්නාවූ සංවාද තුලින් නවීන් යනුද අතීතයේ ප්‍රබල සමාජවාදී මත දැරූ විප්ලවකාරී චරිතයක් යැයි තර්කනය කළ හැකිය. නමුත් එකී චරිතය කෙමෙන් විකාශනය වී මෙකී සිදුවීමේ දක්නට ලැබෙන්නාවූ දේශපාලකයින්ගේ කටු කන සත්ත්වයා බවට පත්වී තිබේ. දෙවැන්න වනාහී විදුර නම් වූ සමාජවාදී අරගලකාමියාය. බහුතරයක් සමාජවාදීන් යැයි කියාගන්නා වූ පුද්ගලයින් උක්ත වචනයේ අර්ථයවත් නොදැන සිටින කල්හී අරගල උදෙසා නායකත්වය දීමට පැමිණෙන්නේය. උන් අරගලයේ යෙදෙති. නමුත් උන්ගේ සැබෑ අරගලය ජීවන අරගලය බවට පත්වන්නට ගත වන්නේ අල්ප කාලයකි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු නම් ඔහුගේ අරගලය සීමා වන්නේ විශ්ව විද්‍යාලයේ රැදී සිටින්නාවූ වසර කීපය උදෙසා පමණි. විදුර නම් ශිෂ්‍ය නායකයාගෙන් එකී බොයිලේරු සමාජවාදය මනාව නිරූපණය වන්නේය. නවීන් ඉදිරියේ පළමුව මාධවීගේ පුවත්පත ප්‍රතික්ෂේප කරන ඔහු මාධවී මුණගැසෙනුයේ ඔවුනගේ අරගලය පිළිබඳ මැද පිටුවේ ලිපියක් පළ කරගනු වස්ය. ක්‍රමයෙන් එකී සංවාදය පුවත්පත හා ඇගේ සම්බන්ධතාවයද එකී පුවත්පතට ඇති තත්වය ඔස්සේ දිව ගොස් අවසානයේ නතර වනුයේ විදුර පුවත්පතෙහි රැකියාවක් අපේක්ෂාවෙනි. ඔහු කාමරයෙන් පිටව යන්නේ විප්ලවවාදීන්ගේ සංකේතයක් බදු විප්ලවවාදී තොප්පියත් අමතක කොටය. සමාජ ආදරයෙන් ඇතිවුනා වූ අරගලය පවතිනුයේ එකී අරගලය ස්වකීය පැවැත්මට උපයෝගී කරගත නොහැකි බව වැටහෙණ තෙක් පමණි. බහුතරයක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගිය පසු මෙකී සියළුම සමාජ ආදරයන් කුණු කූඩයෙහි බහා තමාට ආදරය කිරීම අරඹන්නේය. එබැවින් මෙකී සමාජවාදය බොයිලේරුවක් තුල සිරවී කාලයක් පැවත නැත්තටම නැතිවෙන්නාවූ බොයිලේරු සමාජවාදයක් යැයි නිර්වචනය කළ හැක්කේය. නිර්මාණකරුවා සූක්ෂම ලෙස ලාංකේය වමද එලෙස උපහාසයට නතු කරගන්නේය.
සුරේෂ් නම්වූ විද්‍යුත් මාධ්‍ය හිමිකරුවා තුලද තවත් එක් දේශපාලනික පැතිකඩක් නිරූපණය වන්නේය. ව්‍යාපාරිකයා අල්ලේ නටවන දේශපාලනය පිළිබඳ ඉතාමත් අපූරු දෙබස් ගණනාවක් සුරේෂ්ගේ මුවින් නිකුත් වන්නේය. ඔහු නියෝජනය කරනුයේ ආණ්ඩුව පමණක් නොවේ. සියළුම පක්ෂයන් තුල සුරේෂ්ගේ හෙංචයියන් දේශපාලනිකව වැජඹෙන්නේය. එැබැවින් දේශපාලනික පෙරලි සිදු කරනුයේ මෙකී ව්‍යපාරිකයින් බවද උන්ගේ පටු ආකල්පයන්ට අපේ රට බිලිවෙමින් තිබෙන අපූරුවද මනාව ඉස්මතු කරලීමට නිර්මාණකරුවා සමත් වන්නේය. එහි සඳහන් එක් උපහාසාත්මක අපූරු දෙබසක් ඇත. “ අපි කරන්නේ එක් හොරෙක් යවලා තවත් හොරෙක් පත් කරගෙන ඒ හොරාට වඩා මේ හොරා හොඳඳ කියලා බලන එක...“ නාට්‍යය අවසාන භාගයේදී නවීන් හා සුරේෂ් අතර ගැටීම ඇතිවන්නේද මාධවී මාධ්‍යවේදිනියක නොව ඔත්තුකාරියක බව හෙලිවන්නේද ප්‍රේක්ෂකයා කුතුහලයේ කූඨප්‍රාප්තියට ගෙන එමිනි. නවීන් වෙත සුරේෂ්ගෙන් එල්ලවූ පිස්තෝලය පත්තු නොවුනද පිටතදී සුරේෂ් ඝාතනය වුවද නවීන්ගේ ජීවිතය පරාජිත ජීවිතයක් බව නිර්මාණකරුවා අවසානයේ නිරූපණය කරන්නේය. එදිනත් ඔහු සිය දියණියගේ විවිධ ප්‍රසංගයට සවන් දෙනුයේ බිරිඳගේ දුරකථනයෙනි. තමා සමාජය තුල කෙතරම් ඉහළ මට්ටමක වැජඹුණද සුරේෂ් අතින් මිය නොගියද ඔහු වාසනාවන්තයෙකු නොවන්නේය. ඔහු ස්වකීය පෞද්ගලික ආදර ජීවිතයද අහිමි වූ ස්වකීය ආදරය සුරකිනු වස් අනුන්ගේ බැලමෙහෙවරකම් කරන්නාවූ තවත් එක් වස්තුවක්ම වන්නේය. ඔහු වනාහී දේශපාලනික කෛරාටික හිවලෙකුද නැතහොත් අනුන් විසින් පාලනය කරන්නා වූ අසරණ පුද්ගලයෙකුද යන්න ප්‍රේක්ෂක ඔබ විමසා බැලිය යුතු වන්නේය.
නවීන් නම් වූ චරිතය ආදර වස්තුවක් වන්නේය. හෙතෙම සමාජ ආදරය මඟින් භාවිතා කළාවූ ආදර වස්තුවකි. තමාට ආදරය කළාවූ වස්තුවකි. දේශපාලනික නිවටයෙකි. සමාජය තුල ඇත්තාවූ නවීන් නම් වස්තූන් තවමත් දේශපාලකයින් ඉදිරියේ පවතින්නේය. උන්ව යොදාගන්නේය. උන්ද ස්වකීය ආදරය පරිත්‍යාග කොට එකී නිවට දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ වස්තූන් වන්නේය. නවීන් වනාහී ආදර වස්තුවක් නොවේද...?
Comments
Post a Comment