වලේ සිට ලියමි 01 | රජා මං වහලා - චාමික හත්ලහවත්ත


වලේ සිට ලියමි 01 රජා මං වහලා - චාමික හත්ලහවත්ත


  ©සටහන | වාරා

  පසුගිය දිනයක පේරාදෙණියේ වලේ එනම් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර එලිමහන් රංගපීඨයේ වෙනස්ම විදියේ වේදිකා නාට්‍යක් රගදැක්වූවා. මේ නාට්‍යය ආරම්භයේ සිට අවසානය දක්වාම මුළු ප්‍රේක්ෂකාගාරයම සිටියේ වෙනස්ම වූ වින්දනයක් ලබමිනි. ඒ අපූර්ව වූ වින්දනය ප්‍රේක්ෂකයාට රැගෙන එන ලද්දේ නූතන නාට්‍යකරුවෙකුවූ චාමික හත්ලහවත්ත මහතාගේ රජා මං වහලා වේදිකා නාට්‍යය මගිනි. මේ නාට්‍යය ප්‍රෙක්ෂකාගාරයේ සිටි මා වෙනස්ම මානයකට ගෙන ගිය බව නම් සදහන් කල යුතුමයි.
    
චාමික හත්ලහවත්ත යනු නූතන පරපුරේ පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණකරුවෙක් යැයි පැවසුවොත් මා නිවැරදියි. ඔහු නිර්මාණය කල ‘මකරට‘ වේදිකා නාට්‍යය මෙන්ම රජා මං වහලා වේදිකා නාට්‍යයත් වෙනස්ම ආකාරයේ නිර්මාණයන්. ස්වතන්ත්‍ර නිර්මාණයක් වන මෙම වේදිකා නාට්‍යය 2016 රාජ්‍ය වේදිකා නාට්‍යය උළලේදී හොදම වේදිකා නාට්‍යය ඇතුළු සම්මාන රාහියකට උරුමකම් කියන ලද අතර  මෙම පර්යේෂණාත්මක නාට්‍යය ඉන්දියාවේ වේදිකාගත කිරීමේ භාග්‍යයද හිමිව තිබුනි. සනත් විමලසිරි, උමයංගනා වික්‍රමසිංහ, තෙරුණි අශංසා, සරත් කරුනාරත්න, තිලංක ගමගේ යන නළු නිලි කැල මෙම නාට්‍යයට ජීවය ලබා දුන් රංගන ශිල්පීන් විය.
         
ඔබ කුඩා කල කතන්දර කියවනවා අසා ඇත. ඒ ඇත්දැකීම විද ඇති ඔබට රජා මං වහලා නාට්‍යය තුල එම අත්දැකීමම වෙනස්ම ආකාරයකට නිරූපණය කිරීමක් දක්නට හැකි වනු ඇත. රජා මං වහලා නාට්‍යය තුල කතන්දර කියන්නෝ පස්දෙනෙකු එක්වී කතා තුනක් ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ට පවසයි. නමුත් කතන්දර කියන ආකාරය වෙනස්ය. පසුතලයටම තිබූ බැරල් අට පමණක් හසුරවමින් විටක ප්‍රවෘත්ති කියන්නාක් සේද විටෙක වැඩසටහනක් ඉදිරිපත් කරන්නා සේද විටක ක්‍රිකට් විචාරයක් සේද ඉදිරිපත් වන මේ කතාන්දර තුල ගීත යොදාගනිමින් ප්‍රේක්ෂකයාගේ මනස වෙහෙසට පත්වීම වලක්වා ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයාව නාට්‍යය ග්‍රහණයේ තබා ගත් ඒ නිර්මාණශීලි දක්ෂතාවය අගය කල යුතුය.    
    
මෙහි එක් සුරංගනා කතාවක් එක් ඉතිහාස කතාවක් මෙන්ම එක් වර්ථමාන සත්‍ය සිදුවීමක් ඇසුරු කරගත් කතාවන් ත්‍රිත්වයක් පවතී. මෙම කතා ත්‍රිත්වයම එකිනෙකට වෙනස් යැයි එය නරඹන ප්‍රේක්ෂකයින්ට සිතිය හැක. නමුත් සත්‍ය ලෙසම මේ කතන්තර තුන එකිනෙකට වෙනස්ද නැතහොත් එකම කතන්දරය වෙනස් ආකාරයන් වලින් ඉදිරිපත් කිරීමක්ද යන්න තීරණය කිරීම එය නරඹන්නා අනුව තීරණය වනු ඇත.
   හැම කතාවකටම වීරයෙක් සිටිති. මේ කතා ත්‍රිත්වයෙත් වීරයෝ සිටිති. නමුත් ඇත්තටම වීරයා කව්ද? රජතුමාගේ අභියෝග ජයගත් වහලාද? එහෙම නැත්නම් එලාර පැරදවූ දුටුගැමුණුද? එසේත් නැතිනම් ප්‍රේමයේ නාමයෙන් නිල්මිණිව මරනලද ප්‍රේමතිලකද? එය හිතන්නට ඉතිරි කරන්නේ ප්‍රේක්ෂක හටයි.
    නොයෙක් සුරංගනා කතා පරමාදර්ශී ලෙස ගෙන අප එහි සිටින වීරයන් සේ හැඩගැසෙන්නට උත්සහ දරන බව නොරහසක්. සමහර සුරංගනා කතාවල වීරයන් ඇත්තටම අපේ ජීවිත වල අඩිකාලම වන්නටත් ඇති. නමුත් මෙම නාට්‍යය තුලින් ප්‍රබල ලෙස විමසන කරුණක් සේ හැගෙන්නේ මේ සුරංගනා කතාවේ සිටිනා වීරයා නියම වීරයාද...? ඔහු පරමාදර්ශී චරිතයද?
දුෂ්කර අභියෝග සියල්ල ජයගෙන රජකුමරිය විවාහ කරගත් ඔහු රාජ්‍ය පාලනය කරමින් සතුටින් ජීවත් වූවාද..? ඔහු අපේක්ෂා කල ජීවිතය එයද?
    
   දුටුගැමුණු චරිතය අප දකින්නේ ලක් ඉතිහාසයේ බිහිවූ ශේෂ්ඨතම වීර චරිතයක් ලෙසිනි. එලාර පැරදවූ දුටු ගැමුණු සැබෑම වීරයාද...? එලාර පරාජය කිරීමෙන් ඔහු ලැබුවේ ජයග්‍රාහණයක්ද? දහස් ගණනක ජීවිත විනාශ කරමින් ඔහු ලැබුනේ කුමන ආකාරයේ ජයක්ද? ඇත්තටම දුටුගැමුණු වීරයෙක්ද?
     ප්‍රේමය උදෙසා තම පෙම්වතිය නිල්මිනි මරා දමන පාසල් ශිෂ්‍යෙයකු වන ප්‍රේමතිලක ලබා ගත් ජය කුමක්ද? තමාට හිමි නොවූ ප්‍රේමය වෙනුවෙන් තම පෙම්වතිය මරා දමනා පෙම්වතා වීරයෙක්ද? නැතහොත් දුෂ්ඨයෙක්ද,?
    මේ සියළුම ප්‍රශ්න ප්‍රේක්ෂකයාගේ මනසට යොමු කරන්නට මේ වේදිකා නාට්‍යය සමත් වෙනවා. මේ පිටපතේ තියෙන විශිෂ්ඨත්වය එයයි. අප ඉතිහාසය, සංස්කෘතිය, අප ජීවත් වන සමාජ ක්‍රමය මෙන්ම අප ජීවත් වන සමස්ත පද්ධතියම නැවත කියවීමකට ලක් කරවන මේ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත්ව යන්නේ තමන් පෙර දුටු ලෝකය ඇත්තටම එයද යැයි කියන ප්‍රශ්නය මනස තුල රෝපණය කර ගනිමින් ය.
    
මෙම නාට්‍යය නැරඹූ මා හට හැගුනේ මෙහි කියවෙන කතන්දර තුනෙන්ම අපගේ ඉතිහාසය, සංස්කෘතිය, දේශපාලනය ඇතුළු සමස්ත අපගේ ජීවන රටාව මෙන්ම ආකල්ප ද නැවත ප්‍රශ්න කිරීමකට ලක් වන බවය. ප්‍රේමතිලක කතාන්දරය මෙය මනාව පැහැදිලි කරන්නක්. පාසල් සිසුවාගේ මනස වෙනස් ක්‍රියා කරන්නේ ඔහු ජීවත් වෙන ඔහු අත්දකින පරිසරය අනුව විය හැකිය. ප්‍රේමතිලක නම් චරිතය තුල එවන්වූ කුරිරු මීනීමැරීමේ අදහසක් එක් වූයේ කෙසේද..? තමාට අහිමි මේ නිල්මිනි නම් යුවතිය වෙනෙකෙකුගේ නොවන ලෙස මරුමුවට පත් කරනා පාපාකාරී ආත්මාර්ථකාමී හැගීම ඔහුට හැගුනේ කෙලෙසද? මෙයට වගකිව යුත්තේ කුමන කතාන්දරයද? මෙය තව තවත් විමසා බැලිය යුතු කරුණක් නොවේද..? අද අප සිටින සමාජය ඇත්තෙන්ම බෞද්ධ සමාජයක් නොව විවිධ විසකුරු දේවල් වලින් විස පෙවුන ලද සමාජයක් බව ප්‍රේමතිලක චරිතය අපට මතක් කර දෙන බව පෙනී යයි.
   
දුටුගැමුණු චරිතය මේ නාට්‍යයේ කියවන ආකාරයත් වෙනස්ම අත්දැකීමකි. දුටුගැමුණු වීරවරයෙක් වුනත් ඔහු ජයග්‍රාහණය කරන්නේ නොසෑහෙන ජීවිත ගණනක් මරුමුවට පත් කරමින්. අවසානයේ ඔහුගේ පසුතැවිල්ල කෙතරම්ද යත් ඔහු එලාර සිහිවන්නට ස්මාරකයක් පවා ගොඩනගන්නේය. ඔහු ඉමහත් කම්පාවකට පත් වන්නේය. නුතන සමාජයත් ජාති ආගම් කුල මල බේද වලින් බෙදී එකිනෙකා කුලල් කා ගන්නා කිසිදු අවස්ථාවක අවසානයේ වෙන විපත දකින්නේ නැත. දුටුගැමුණු රජත් එම සංහාරය දකින්නේ අවසානයේදීයි. දිනක අප සමාජයත් මෙලෙස කුලල් කාගන්නා විට අපට අහිමි වූ ජීවිත මෙතෙක් යැයි ගනන් කල නොහැකියි. ඒ වන විට අප පමාවූවා වැඩි විය හැකිය. එමෙන්ම අප දකින ඉතිහාසයේ වීරයන් ඇත්තටම අපට සාහිත්‍යයේ උගන්වන ආකාරයේ වීරයන්මදැයි යන්න අප නැවත සිතා බැලිය යුතුය.  වීරයා දුටුගැමුණු විය හැකිය. නමුත් ඔහු ලබා ගත් දේ කුමක්දැයි විමසා බැලිය යුතු කරුණකි.
    පක්ෂ පාට බේද වලට වහල්ව එකිනෙකා කුලල් කා ගන්නා සමාජයේ අපි ලබා ගන්නා විමුක්තිය කුමක්ද? අප ලබා ගන්නා ජයග්‍රාහණය කුමක්ද යන්න මේ නාට්‍යය තුලින් සංවාදයට ලක් කරන අයුරු පෙනී යයි. නොනවතින බල අරගලයක යෙදී සිටින මිනිසා සිය ජීවිතය පරමාදර්ශී සුරංගනා කතාවක චරිතයකට සම කර ගනිමින් අභියෝග ජයගන්නට උත්සහ කරන්නේද? විමසා බැලිය යුතුය. සුරංගනා කතාවක වීරයා වීරයෙක්මද? නූතන සමාජයේ අප දකින සමහර චරිත ඇත්තෙන්ම වීරයන්ද..? ඉතිහාසය , සංස්කෘතිය ගැන උදම් අනන අපේ රටේ ඇත්තටම ඒ ඉතිහාසයෙන් ඔද වැටී ජාති ආගම් කුල වලට බෙදී වෙන්ව සටන් වදිනා විට අහිමි වන ජීවිත ගැන අප සිතිය යුතු ය.
   
නූතන අධ්‍යාපන ක්‍රම වේදයන් තුල ශිෂ්‍යයා ගමන් ගන්නේ කොහේටදැයි යන්නද විමසා බැලිය යුතු යැයි මේ නාට්‍යය බලන යමෙකුට හැගෙනු ඇත. ප්‍රේමකීර්ති චරිතය තුල දකින්නට ලැබෙන්නේ ඒ පීඩනයෙන් , ඒ විකෘතිවූ මනසින් බිහිවන පාසල් ශිෂ්‍යයෙකි. මෙයට වග කිවයුත්තේ කව්රුන්ද? ඔහු ආශ්‍රය කරන පිරිස විය හැක. ඔහුගේ මනසේ ස්වභාවය විය හැක. ඊටත් වඩා පවතින අධ්‍යාපන ක්‍රමවේදයන් විය හැක. පොතට වහල් වූ ශිෂ්‍යයන් බිහි කරන අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ආත්මාර්ථකාමී , කලහකාරී සිතුම් ඇති ප්‍රේමතිලක වැනි දුර දිග නොබලා ක්ෂණික ආවේගාත්මක තීරණ ගන්නා ශිෂ්‍යන් බිහිවීම අරුමයක් නොවේ. රොබෝ මානසිකත්වයකින් විභාග සමත්වීම අරමුණු කරගත් නූතන ශිෂ්‍යයා සමාජය පිලිබදව හෝ තීරණ ගැනීම සම්බන්ධ දැනුම දෙසින් අතිශයින්ම දුර්වලය. නූතන අධ්‍යාපන පද්ධතිය නැවත සකස්විය යුතු බවට මේ නාට්‍යයෙන් වක්‍රාකාරයෙන් කියවෙන බව මාගේ හැගීමයි.
   
චාමික හත්ලහවත්ත නාට්‍යකරුවා විසින් නිර්මාණය කරන ලද මෙම රජා මං වහලා වේදිකා නාට්‍යය තුල කතන්දරයකට එහා යමක් පවතී. කලාව තුලින් සමාජය ප්‍රබල ලෙස සංවාදයට ලක් කල හැකි බවට තවත් එක් හොද නිදසුනක් ලෙස මෙම නාට්‍යය දැක්විය හැකිය. ‘‘ස්වර තන්තු බිදෙනකන් අපි සිංදු කියන්නම්... ඉල ඇට කැඩෙන කම් අපි නටන්නම්...“ මෙලෙස ගයමින් නටමින් එකී කතන්දර කරුවන් පස්දෙනා අපිට කියන කතාව ඇත්තටම සිනහවෙන් යුතුව බලා ප්‍රේක්ෂකාගාරයෙන් නික්ම යනවාට වඩා අප විමසා බැලිය යුතු තවත් කතන්දරයක් රජා මං වහලා නාට්‍යය තුල දක්නට ලැබෙන බව ප්‍රේක්ෂකයෙකු වන මගේ හැගීමයි.


                 ©සටහන | වාරා

Comments

  1. මතකයේ රැඳුණු නාට්‍යයක්.. රසවත් කියවීමක්

    ReplyDelete

Post a Comment