My Son is gay.


            

වත්මන් සමාජය විසින් අසභ්‍යය යි, නුසුදුසු යි කියා ප්‍රතික්ශේපකරන තේමාවක් ලෙස සමලිංගිකත්වය හැඳින්වීමට පුළුවන. සමලිංගිකත්වය යනු, සමාන ලිංග හෝ ලිංගිකත්ව ඇති පුද්ගලයන් අතර ඇතිවන්නා වූ ප්‍රේමණීය ආකර්ශනයක්,ලිංගික ආකර්ශනයක් හෝ ලිංගික හැසිරීමක් ය. මාගේ අදහසට අනුව මෙය නීතියෙන් දඬුවම්කළ යුතු වරදක් නොවේ. සම්මත වූ විශම ලිංගික බැඳීමෙන් ඈත්ව ගොඩනැඟුනක් වුවත් එම බැඳීම අසාමාන්‍යය යි කීමට ද මා අකමැති ය. මන්ද යත් සබඳතාවල සාමාන්‍ය-අසාමාන්‍ය භාවය තීරණයවන්නේ විවිධ පුද්ගල චින්තනයන්ට අනුවවන බැවිනි. මෙවැනි සුලභව ස්පර්ශ නොවන තේමාවක් ඔස්සේ ගොඩනැඟුනු "My Son is gay" චිත්‍රපටිය වෙනස් ආරකින් සමාජයේ එක් පැතිකඩක යථාර්තය හණමිටි අදහස් දරන "සංස්කෘතික භක්තිකයන්ට" පෙන්වන නිර්මාණයකි.


                මෙහි ඇත්තේ සීමිත චරිත කිහිපයකි. නමුත් ඒ සීමිත චරිත කිහිපය ඔස්සේ වුවද ගොඩනැඟී ගලාගෙන යන මෙම කලාත්මක නිර්මාණය සැබැවින්ම පැසසිය යුතුය. මන්ද යත් සමලිංගිකයන් දෙදෙනෙකුගේ ආදරය,හැඟීම්,ආශාවන් හා සමාජයෙන් ඊට එල්ලවන බාධා, වැනි සෑම අංශයක්ම එම විනාඩි කිහිපය තුළ ප්‍රේක්ශකයාට රසවත්ව ඉදිරිපත්කරන නිසාවෙනි.
               

මෙහි එන "කාර්තික්" "වරුන්" ට වඩා වාසනාවන්ත යැයි මම සිතමි. ඊට හේතුව වන්නේ ඔහු ගැන ඔහුගේ දෙමව්පියන්ට තිබෙන පූර්ණ අවබෝධය යි. තම පුතා කඩවසම් තරුණයෙකු වුවත් ඔහුගේ හැඟීම්,ආදරය,ආකර්ෂණය තවත් තරුණයෙකුටම පමණක් බව තේරුම් ගැනීමට ඔවුන්ට හැකි වෙයි. ඒ තේරුම් ගැනීම මත කාර්තික් ගෙවන සැනසිලිදායක ජීවිතය වරුන්ටත් ලැබේවිද? චිත්‍රපටය තත්පරෙන් තත්පරේට කුහුලෙන් යුතුව නරඹන ප්‍රේක්ෂකයාට නැඟෙන පැනයකි ඒ.
කාර්තික්ගේ උපදෙස් අනුව වරුන් තම යහළුවන් තිදෙනාට තමා පිළිබඳව පැවසීමට උත්සාහ කළත් ඔහු අපොහොසත් වේ. ඊට හේතුව වන්නේ තමාව එම මිතුරු සමාගමෙන් ප්‍රතික්ෂේප වේ යැයි යන බිය නිසාවෙනි.


               කෙසේ හෝ මෙසේ චිත්‍රපටිය ගලා යනවිට වරුන්ගේ ජීවිතයේ ප්‍රධානම අභියෝගය හමු වේ. එනම් ඔහුගේ මවට මේ පුවත සැළකිරීමයි. කාර්තික්ගේ මව ලවා කියවීමට මොවුන් සැළසුම් කරන්නේ ඉන් අනතුරුව ය. වරුන්ගේ මවගැන අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නොවේ. ඇයගේ චරිතයේ මුල් අවස්ථාවේදීම ඇය ස්භාවයෙන්ම දරදඬු අයෙකු බව පෙනෙයි. දරුවන්ට මහමෙරක් තරම් ආදරය කරනවා ඇති. එහෙත් ඒ ආදරය පෙන්වන්නේ වියළි පතක රැඳුන පිණි බිඳුවක් තරම් ය. ඇයගේ ජීවිතයේ කාර්‍යබහුලකම විසින් උරුම වූ දෙයක් වැනිය; ඇයගේ දරදඬුකම. එහෙත් ඒ කාර්‍යබහුලත්වය මැද්දේ වුවද ඇයගේ ක්‍රමානුකූල හා සංවිධානාත්මක ගෘහනියකගේ ලක්ෂණ මැනවින් පෙනෙන අවස්ථාවක්වන්නේ මාළුවාට කෑම දැමීම ය. එය ඇයගේ චරිතය කියාපාන ප්‍රබල සංඛේතයක් වැනි ය.

 
               කාර්තික්ගේ මවගේ වදන් ඇසූ පසු කෝපයටත්,ශෝකයටත්,අපේක්ශාභංගත්වයටත් පත්වන ඇය ඒ අවස්ථාවේදී හැසිරෙන ආකාරය සාධාරණ ද? අසාධාරණ ද? යන්න තීරණය කිරීම ප්‍රේක්ශකයා සතු අයිතියකි. මගේ අදහසට අනුව මවකගේ පැත්තෙන් ගත්තොත් ඇගේ තරහව,කඳුළ,වේදනාව පිටුපස ආදරණීය මවක් සිටී. එහෙත් ඒ මව පිටුපසින් යෝධයෙක් සේ සමාජය නැඟී සිටී. දරුවෙක් ඉපදුන දා පටන් මව කරන්නේ ඔහු ගැන සිහින දැකීම යි. අහසක් උසට බැඳි බලාපොරොත්තු සියල්ලම රැළ්ළට හසුවුනු වැලි මාළිඟා සේ ක්ෂණයෙන් කඩා වැටෙද්දී කොයි ගැහැනියත් එසේම ය. එහෙත් වරුන් ද අසාධාරණ නැත. ජීව විද්‍යාත්මකව ඔවුන්ට උරුම වූ භූමිකාව බාර ගැනීම වරදක් නොවේ.


                    මවගේ ප්‍රතික්ශේපවීමෙන් අසරණවන වරුන් කෙසේ හෝ මවගේ කැමැත්තට හිත හදා ගැනීමට උත්සාහ කිරීමේදී කාර්තික්ගේ හැඟුම්බර වදන් සැබැවින්ම සජීවත්ව ප්‍රේක්ශකයාට දැනෙ යි. ඉන් පසුව ඇරඹෙන ඔවුන් දෙදෙනාගේ නව ජීවිතයේ ආදරණීයභාවය නෙතට කඳුළක් උනවන තරම් උණුසුම් ය. අසාමාන්‍යය තුළ ඇති සාමාන්‍ය ස්භාවය ඉන් මැනවින් නිරූපනය වෙයි.


                   වරුන්ගේ මවගේ කෝපය හා ශෝකය මත අතුරුදහන්වන ඇයගේ කාර්‍යක්ෂම ගෘහනියගේ චරිතය මාළුවා ආහාර නැතිව මිය ගොස් ජලයේ උඩුබැලිව පාවෙන ආකාරයෙන් ප්‍රබලව ප්‍රේක්ශකයාට සංඛේතවත් කරයි. යමක් පැවසීමට හුදෙක් වචනම අවශ්‍ය නොවන බවත් අද්විතීය සංඛේතයක් පමණක් ප්‍රමාණවත්වන බවත් ඉන් මනාවට ඔප්පු කරයි.


                   චිත්‍රපටය අවසානයේදී වරුන්ගේ ජීවිතය ගැන සුභ ලකුණක් පෙන්නුම් වූයේ මව ඔහුව බැලීමට පැමිණීමෙන් ය. නිදා සිටින තම පුතු දෙස සෙනහසින් බලා කඳුළු හෙලන ඇගේ මුව එකවරම අඳුරු වීමෙන් කුමක් හෝ අසුභයක් සිදුවන බව සිතේ. එය සත්‍ය ය. වරුන්ගේ හා කාර්තික්ගේ සමූහ ඡායාරූපය දකින ඇය නැවතත් වරුන්ව ප්‍රතික්ශේප කරයි. මහ වරුසාවෙම ආපසු පිටව යන ඇය සම්ප්‍රදානුකූල හා ගතානුගතික හණමිටි සංස්කෘතිය නිරූපනය කරන ප්‍රබල සංකේතයක් වැනිය.


                   වරුන් හා කාර්තික් නීතිය ඉදිරියට පමුනුවා දඬුවම් කළ යුතු වැරදිකරුවන් ද? නැත. නමුත් සංස්කෘතිය ගැන පුහු මාන්නයෙන් හිස උදුම්මවාගත් හණමිටි මාන්නක්කාරයින් කෑ ගසන්නේ මින් සංස්කෘතිය විනාශවෙනබව පවසමිනි. අඩියෙන් අඩිය ළමා නිවාස,වැඩිහිටි නිවාස ඉදිවෙද්දි,පියා දුවව-පුතා මවව දූෂණය කරද්දි,අඩු වයසින් දරුවන් මව් පියන් වෙද්දි,පන්සල්වලට වඩා වැඩියෙන් බාර් ඉදිවෙද්දි,කන්න දෙන බත් පිඩට බද්දක් වැටෙද්දි උගුඩුවන් මෙන් කටපියන් ඉන්න මොවුන් ජීව විද්‍යාත්මකව තමාට උරුම වූ භූමිකාව බාර ගනිද්දි පමණක් මොවුන්ගේ "සංස්කෘතික කැක්කුම" ඇතිවීම උපහාසයට කරුණකි.
මෙවැනි අස්පර්ශික තේමාවක් අරභයා ගොඩනැඟුනු "My Son is gay" ච්ත්‍රපටය විශිෂ්ඨ නිමාවකින් අවසන්වන්නේ නැවත වරක් එක් තත්පරයක් මොවුන් ගැන විනිවිදභාවයෙන් හා බුද්ධිමත්ව සිතීමට ප්‍රේක්ශකයාට සුහදව ආරාධනා කරමිනි.


යොහානි නිමේෂා

(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)

Comments