විරහවේ ශෝක ස්වර පිරිමදින ප්‍රේම සජ්ඣායනය

විරහවේ ශෝක ස්වර පිරිමදින - ප්‍රේම සජ්ඣායනය

සටහන : විශ්වනී ඉමාෂිකා

තරිදු දම්සරගේ ප්‍රේම සජ්ඣායනය එවන් වූ විප්‍රවාසී හදවතක් සිය මතක නටඹුන් අතර සැරිසරන මොහොතක විදින්නා වූ අප්‍රමාණ වේදනාත්මක මනෝභාවයන් සෞන්දර්යාත්මක ඇසකින් දැක සංවේදී ලෙස විදින්නට ඉඩ තනන අපූර්ව ගීතයක් යැයි හදුනාගත හැක. නූතන ගීතය නිරස පද රචනාවෙන් සම්ප්‍රයුක්ත යැයි බොහෝ දන මැසිවිලි නගන යුගයක ප්‍රේම සජ්ඣායනය වූ කලී එකී චෝදනාවෙන් මිදුණු අධ්‍යාත්මයෙන් ම විරහාලාපයක් විදිනට ඉඩ තනන ගේය පද රචනාවක් ම ය. කාශ්‍යප කුරුප්පුආරච්චි, විනෝදි පෙරේරා ඇතුලූ තවත් නව පරපුරේ නිර්මාණකරුවන් කිහිපදෙනෙකුගේ ඒකාත්මික උත්සහයක ප්‍රතිඵලයක් ලෙස බිහිවූ මෙම පද පෙළ තරිදු  දම්සරගේ ම නාද මාලාවෙන් සුසංයෝගව ඇත. 

        ප්‍රේමය තරම් සුන්දර වූ හැගුමක් ලොව වෙන කොහිද? සංසාරික ජීවන ගමන් මග දිගු කරන බැදුම් දුකක් බව දැන දැන ම අපි ප්‍රේමයෙන් මත්වෙමු. බැදුම් හදමින් ද ඒවා බිදුණු දා හඩමින් ද නෙක් දුක් පිරිපත විදින්නෙමු. ප්‍රේමයේ අමයුරු සුව සිත ආනන්දයට ගෙන යන්නේ කොපමණ ද, බිදුනු ප්‍රේමයේ මතක සැමරුම් යළි යළිත් හද රිදවමින් නෙත තෙත් කරන්නේ ද එලෙසින් ම ය. 


  “මලත් අතහැර නොයමි දිවුරා 

    බදාගෙන හිටියාට මල් කෙමි 

        හීන් නළි වැස්සටත් වෙන් වෙයි  

                 ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති... ''


       ඇරඹුමේ දී ම සංකේතයකි. රස භාව නො නසාම සිත කම්පිත කරන සංකේතපදාර්ථයේ ද ඇත්තේ වෙන්වීම ම ය. මල්පෙති කොතෙක් නම් මලට ළෙංගතු වුව ද හැරදමා නොයන වග සපථ කරමින් මල්කෙමි බදා වැළද උන්න ද හීන් නිළි  වැස්සට වුව ද ඒ මල්පෙති ඉබේම ගැලවෙයි. මනුෂ්‍ය ජීවිත තුළ ඇති බැදීම් ද එවන් නොවන්නෙහි ද? හැරදමා නොයමියි දිවුරන බොහෝ අය හැර යන්නේ යන බව ද නොකියාම ය. මලක පෙති ගිලිහී ගොස් මලෙහි මළගම කෙසේ වී දැයි කියමින් පද රචකයන් මේ කියන්නට තනන්න්‍ෙ ප්‍රේමයේ විප්‍රවාසයක දුක් සුසුම් ම නොවන්නේ ද?

           පෙම බිදුණු දා දරාගත නොහැකි ම දෙයක් වේ නම් ඒ අතීත මතක සැමරුම් අතර සැරිසැරීම ය. වෙසෙසින් ම එදවස ඇය සමගින් ළං ළං ව කල් ගෙවූ සොදුරු තැන් අතර අද ද තනිව සැරිසැරීම තරම් ඛේදවාචකයක් ප්‍රේමයේ විප්‍රවාසියෙකුට වෙන කොහිවෙද? සිය ගණන් පෙම්වතුන් පෙම්වතියන් අත්වැල් පටලා ඇවිද යන වැව රවුමේ ද... අනේක ප්‍රේමවනත් යන් සියතින් සිය පෙම්වතියගේ කියඹුලතාවෝ සමග දෑගිලි පටලන වැව අද්දර බංකු අතරේ ද... අද වෙනසක් ඇත්නම් ඒ ඇය නොමැතිකම ය. හුදෙකලාව  
නවතින්නට ළග ඇත්තේ ඈ තබාගිය මතකය පමර්‍ණ. ඒ මතක විමසන මොහොතක තනිවම තනියට ළග හිදින වැහිලිහිණියෙකි. ලිහිණියා ද තනිව ම ය. නපුරුයැයි සම්මත නමවෙනි වලාකුළ උඩ තනිව ම ය. හුදෙකලා වූ ආතුර පෙම්වතාගේ වියෝගාලාපයේ වේදනාව පැදිපෙළ තුළ සංස්පර්ශ කරන්නට ගේය පද රචක පෙළ ගෙන එන මේ සොබා දහමේ සංකේතාර්ථ නිසාවෙන් ම පැදිපෙළ වඩාත් වින්දනීය මෙන් ද සෝබර භාවයන් ශ්‍රාවක මනසට කැන්දමින් ද ගලා යයි. 


Image result for love broken‘‘වැව රවුමේ යනත් මට ගෑවෙන  
  හිදපු බංකුවේ දියසෙවෙල් පිස 
   අදත් වැහි ලිහිණියෙක් තනියම 
   හිටියා නමවෙනි වලාකුළ උඩ... “ 


   ප්‍රේමය අහිමි වූ පෙම්වතෙකුට දුක් දරන්නට කොතෙක් නම් අපහසු ද? එහෙත් එසේ යැයි කියා ජීවිතය අත්හල නොහැක. මේ ගේය පද පෙළෙහි ඇති සුවිශේෂත්වය ද එය ම ය. එදවස අමාසුව ලබාදුන් ප්‍රේමය බිද වැටුණු දා මෙදවස විදින දුක්ඛ දෝමනස්සයේ අනේක ප්‍රාකාර වේදනාව ගේය පද පෙළ දිගේ හමා විත් එපමණකින් නොනවතියි. ඒ දුක් සංතාප සීරුවෙන් විදින්නට මගක් ද පාදයි.  

     පෙම්වතා දැන් කවියෙකි. ඔහු කවියෙකු කරන්නට ඇත්තේ අහිමිවීමේ වේදනාවෙන් උපන් ශක්තිය ම විය යුතුය. ප්‍රේමයේ බිදවැටුම් හමුවේ ජීවිතය පැරදුනේ යැයි සිතා දිවි තොර කරගන්නා පරපුරක් වෙසෙන රටකට ප්‍රේමයේ වියෝගය සංයමයෙන් දරන අයුරු අපූරුවට ගෙනහැර දක්වන්නට ගේය පද පෙළ නමි වෙයි. 


  “වසන්තේ මම වෙමී 
  අනන්තේ නඹු නොවී  
  සදැස් කව් ලිහි ලිහී
   ප්‍රේමයේ පිංකම් කෙරේ... “


        ආදරේ යනු පිරිත්වරයක් සේ ම ය. එය නිරාමිසය. අධ්‍යාත්මයෙන් ම විද ගත හැකිය.  හිමිකර ගැන්ම ම ආදරය නොවේ ය. අහිමි වීම තුළ ඇත්තේ ඈත්ව යාම පමණක් ය. එහෙත් ඈත්ව යාම යනු ආදරය නොමැති වීම නොවේ ය. ආදරේ යනු සරලව ම ජීවිතයේ පුරන සිරිතක් වැනි ය. ඒ සිරිතට ම ගැයෙන ආදර පිරිත්වරය ඇගේ නික්මන විරහ සංතාපයෙන් සම්ප්‍රයුක්ත වුව ද ඒ විරහ සංතාප ම අද ඔහු අතින් කවි බවට පත්ව සියුම් ව වි`දිනට ඉඩ තනා ඇත. 

 “ආදරේ පිරිතකි 
  ජීවිතේ සිරිතකී 
  පන්හිඳේ එති එතී 
   කවි තිඹිරිගෙයි ලතී...“ 

                  ඔහු අතැර ගිය ද මේ විශ්වයේ කොහේ හෝ තැනක ඇය ඇත. ළං නොවුණ ද වෙන්ව ගිය ද ඇය ට මේ පිරිත් සරයක් වැනි ප්‍රේම විරහාලාපය ඇසෙනු ඇත. එහෙත් හැර ගියවුන්ට යළි පැමිර්‍ණය නොහැකිය. එනිසාවෙන් ඇය සුවසේ හිදිනු ඇත. 

 ''සිරිතටම පිරිත් කී  
   හිතට සැනසුම් නැතී  
   පිරිත් සර ඇසි ඇසී  
   කුමරි සැපසේ නිදී....''


          නමුත් පද රචකයන්ගේ අවසන් යෙදුම තුළ ඇත්තේ ව්‍යංගයක්දැයි නොසිතෙන්නේ ද නොවේ ය. '' පිරිත් සර ඇසි ඇසි - කුමරී සැපසේ නිදී'' යනු ඇය සදාකාලික නින්දට පත් වගද? ගීතය පුරා දිවෙන යටිපෙළ අරුත් අතරේ ද ස්වර සප්තකය මුසුව නගන ශෝකී ස්වර නාදරටාව ද අපට හිතන්නට ඉතිරි කරන්නේ ඇය එවන් ඉරණමකට මුහුණ පා ඔහුගෙන් වෙන්ව ගිය බවදැයි මොහොතකට සිතේ


       ඒ කෙසේ වුව ද ප්‍රේම සජ්ඣායනය වචනයේ පරිසමාප්තියෙන් ම ප්‍රේම සජ්ඣායනයක ම ය. සමස්ථ ගීතය පුරාවට ම ඇත්තේ වියෝගයේ ශෝකී රාවයයි. එය ශ්‍රාවකයාගේ ශෝක රසභාව වඩාත් සංවේදී ලෙස සංස්පර්ශති ය. මොහොතකට දෑස් පියා ගත් කල්හි ගීය අවසාන වන විට දෑස් අග තෙත කදුළකට නවාතැන් දෙන්නට තරම් ම මේ ගීතය ට හැකිය. එබැවිනි ඔබ ද ප්‍රේම සජ්ඣායනය ඇසිය යුත්තේ යැයි පවසා මම ද යළිත් ඒ පැදිපෙළේම මනසින් ඇවිද යන්නට ඔබට සමුදෙමි.

         විශ්වනී ඉමාෂිකා

(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)



Comments

  1. "ප්‍රේම සජ්ඣායනය වචනයේ පරිසමාප්තියෙන් ම ප්‍රේම සජ්ඣායනයක ම ය." 👌👏

    ❤️❤️❤️විභව❤️❤️❤️
    ජය වේවා😀👌

    ReplyDelete

Post a Comment