තරු අහසෙ පායලා.ඇස් දෙකෙන් ලෝකෙ දකින ඕනෙම මනුස්සයෙක්ට සතෙක්ට රෑ අහස බැලුවම තරු ඕන තරං පේනවා.සමහරු තරු දිහා ඔහේ බලං ඉන්නව.සමහරු තරු තියෙන දිහාවට ගිහිල්ලා තමන්ට යන්න ඕන ඕන තැන් වලට යනවා.සමහරු තරු දිහාට යන්න හදනව.තරු එක එක රටා තියෙනව.ඉස්සරම මිනිස්සු තරු වලට නමුත් දීලා තියෙනව.අපෙ සීයා කියන්න වගේ."තරුවක නම වරද්දලා මතක තියාගත්තා කියන්නේ වරුවක් යන්න කලිං උබ අතරමං වෙනව කියනෙක තමා කොල්ලො".සමහරු තරු වලට බයයි.සමහරු නං දවල් තරුත් දැකල තියෙනව.මුහුදෙ නං මලාට නොදන්නා තරුවක් පස්සෙ නැව් පදවන්නෑ සිහියක් කටක් තියෙන කිසිම මනුස්සයෙක්."ඔය බූත තරු පස්සෙ මුහුදු ගිය එකෙක්වත් ආයේ ආවායැ!".සීයා කිව්වෙ එහෙමයි."බූත තරු!".හැමදාම රෑට රෑට මමත් බලං උන්න "බූත තරුවක්" තිබ්බා.ඒ තරුව හැමදාම එකම වරුවෙ එකම ගමනක එකම විදිහට කැරකෙනවා.මං පොඩි ලන්දට ගිහිං හැමදාමත් ඔය තරුවෙ ගමන බලං හිටියා.එකතැන තියෙන තරු වගෙත් නෙවේ.පුංචි පුංචි එළි පිරිච්ච වටේට තරු කැරකෙන හඳ වගෙත් නෙවේ.අනිත් "බූත තරු" විදිහම උනත් මේ තරුවෙ මොකක්ද මංදා මට නොතේරෙන පුදුම ආකර්ශනයක් තිබ්බෙ.ඒක දිහා බලං ඉන්න වාරයක් වාරයක් ගානෙ මං ඒක දිහාවටම ඇදිල යනව වගේ මට හිතුනේ.
මැදියමේ එන හුලං පාර ඈත ඉදන් ගස්වල වැදීගෙන ඇවිල්ලා ඇගේ දැවටීගෙන යද්දි පුදුම සනීපයි.හරියට නිකං කිතිකැවෙනව වගේ.ඒකයි මං මේ ලන්දට මෙච්චර ආස.මෙතනට වෙලා අහස බලං මගෙ "බූත තරුව" එනකං මං ඇගිලි ගැන ගැන පට්ට තදියමෙන් වෙනදා වගේම බලං හිටියා.දවසටම එක පාරනේ.ඒකත් පොඩ්ඩ වෙලාවයි ඈත කුලුණු කදු ගොඩට වැහිලා යනව."අවුරුදු දසදාස් ගානකට කලිං ඔය කුලුණු කදු වල මිනිස්සු ජීවත් උනැයි කියන්නෙ කොල්ලො!. ඉස්සර කුලුණු කදු ආං අර ඈත වළාකුලු වල ගෑවෙනෝලු ඕං!".සීයා උඩීන් පාවෙන සුදුම සුදු වළාකුලකට සීයගෙ වෙව්ලන අත දික් කරල අනිත් අතිං හැරමිටිය අල්ලං මට පෙන්නපු හැටි මට මතක් උනේ කුලුණු කදු දිහා බලද්දි."දැන්නං අඩි තුන්සීයක් වත් නැතුව ඇති!".එහෙම පාටක් පේන්නවත් නෑ.
අඩු ගානේ දවාලක පාත්වෙන්නෝනේ.මලවිකාර කියල තමා.මං ඔහොම දාහක් දේවල් හිත හිත ලන්දට වෙලා හාන්සි වෙලා අහසෙ තරු දිහා බලන් ඉන්නකොට ඈතින් මගෙ ඇහැ ගැටුනෙ මගෙ "බූත තරුව".ඒක මට ඕනෙ වෙලාවක අදුරගන්න පුලුවං.ඒ තරමට මගෙ ඇහැ හුරුවෙලා තිබ්බේ.බූත තරුව හෙමීට හෙමීට එයාට පුරුදු පාරේ යනව.ලස්සනයි.
බූත තරුව හෙමින් හෙමින් මුදුන් වේගෙන එනකොට වෙනදාට වඩා පුදුම දෙයක් මං දැක්කා.අද තරුව මුදුන් වෙද්දි ලස්සන වැඩියි.පුදුම දීප්තියක් තියෙන්නෙ.හරියට නිකන් කුලුණු කන්දට වඩින දෙයියො වගේ ඇති කියල මට හිතුනා.හිස මුදුනට මුදුන් වෙච්ච බූත තරුව එකපාරටම මහ එලියක් විහිදුවං ටික ටිකලොකු වෙන්න ගත්තම තමා මට ටික ටික බය දැනෙන්න ගත්තේ."බූත තරුව" මගෙ පැත්තට එනව වත්ද?."ටික ටික ලොකු වෙන තරුව මගෙ පැත්තට නොආවත් කඩං වැටෙනව එකසිය ගානට කියලනං තව ටිකක් වෙලා යද්දි මට තේරුනා.රිදී පාට වගේ දිස්නයක් දීගෙන කහ පාට ලොකු ආලෝකයක් වටේටම විහිදං බූත තරුව හුමාල කැලේ පැත්තට පාත් වෙන්නෙ හරියට නිකං ගමට පොඩි ඉරක් පෑව්වා වගේ මහ රෑ.මට හිතට දුකයි සතුටයි එක්ක අමුතු දේවල් හිතෙන්න ගත්තා.මගෙ තරුව කඩං වැටෙන එක ගැන මට දුක උනත් මීට කලිං තරු කඩං වැටෙනව මං දැකල තිබ්බෙ නෑ.ඒකත් මගෙ බූත තරුව උන එක ගැන නං හිතේ සාදාරණ කේන්තියක් තිබ්බෙ.විනාඩියක් විතර මහ පුදුමාකාර දිස්නයක් දීගෙන බූත තරුව හුමාල කැලේට පාත් උනේ මහ භයංකාර සද්දෙකුත් එක්ක."කන්දක් පාත් වෙනව වගේ".මට හිතුනෙ එහෙමයි.
මට මේ සිද්දිය අදහගන්න බැරි හින්දදෝ මංදා තව පැය බාගයක් විතර මං අහසයි දිස්නෙ ගහන හුමාල කැලේ පැත්තයි දිහා මාරුවෙන් මාරුවට බල බල හිටියා.මං මීට කලිං තරුවක් කඩං වැටෙනව දැකල තිබ්බෙ නෑ.මං හිතන්නෙ කව්රුත් දැකල නැතුව ඇති එහෙම සිද්දි.කොහොම කොහොම හරි මේ සිද්දිය දැකපු මට මහ බූත අදහසක් හිතට ආවේ.
"බූත තරුවෙන් කෑල්ලක් කඩා ගන්න තිබ්බනං!".
මං දන්නව ඒ තරම් මෝඩ අදහසක් කිසි මොලේ ඇති මනුස්සයෙක්ට පාත් වෙන්නෙ නෑ .ඕනෙ එකෙක් දන්නව තරු රස්නෙයි කියල, ලගට ගියාම දූලි වෙන්නම පිච්චෙනව කියල.අපේ සීයා අපිට පොඩි කාලෙ කිව්ව කිව්ව දෙයක් මට මතක් උනා.
"දෙනොදාහක් මිනිස්සු මේ ලෝකෙ සාමෙන් සමගියෙන් ජීවත්වෙන්න කලියෙං බොලව්!. කලියුගේ එකාල තරු අල්ලන්න ගිහිං තමා විනාසෙ උදා උනේ!.තරු ලස්සනට ආකාහෙ දිලිසුනාට බොලව් කවදාවත් තරු පස්සෙ යන්නෙපා.ලාම්පු එලියට ආපු කනාමැදිරියො වගෙ විනාස වෙන්නෙ ඕං!".
තරු වලට මිනිස්සු මෙච්චර බය ඇයි කියල මට ඒත් තේරුනේ නෑ.මෙච්චර ලස්සන දේවල් වලට ඇයි මිනිස්සු බය වෙලා ඉන්නේ?.ඔහොම දාහක් දේ හිත හිත මාත් ලාම්පු එලියට ඇදෙන කනාමැදිරියා වගේ දිස්නෙ එන හුමාල කැලේ පැත්තට ඇදුනා.හිතේ පොඩි බයක් තිබ්බත් තරුව ගැන පොඩි කාලෙ ඉදන් කරක් ගහපු ලස්සන හුමාල කැලේ පැත්තට යන්න නං මට කිසි චකිතයක් හිතේ තිබ්බෙ නෑ.පැය කාලකට විතර පස්සෙ මං ගම මැද්දෙන් හුමාල කැලේට සේන්දු උනා.ලොකු ලොකු පෙට්ටි වගෙ උස බිම් වලිං උඩට පෑදුන උස,කොට බට කෑලි වලිං අහසට සූ සද්දෙට හුමාලෙ පිඹිනවා දවල්ට හුමාලෙ හින්ද කැලේට පායන දේදුන්නෙ තියෙන්නෙ පුදුම ලස්සනක්.ඒ වගේ ලස්සන නැතත් හුමාලෙ නිසා කැලේ රෑට තියෙන්නෙ අමුතුම ලස්සනක් තමයි.මේවා මට දැකල නොපුරුදු දේවලුත් නෙවේ.මං බට කදු පහු කරං දිස්නෙ පැත්තට එන්න එන්නම ඇදුනෙ තරු කෑල්ලක් කඩා ගන්න හිතේ ඇඳුනු බය මුසු වෙච්ච ආසාවෙන්.එන්න එන්නම දිස්නෙ වැඩිවෙන්න ගත්තත් මහ ලොකු රස්නයක් නං නැති හන්දා බය චුට්ට චුට්ට තුනි වෙලාම ගියා.මං මාන ගාලකුත් පහු කරං රොක්වෙච්ච පදුරුත් ඈත් කරං හනි හනිකට ලං උනේ මගෙ තරුව බලන්න.මං එලි කරං ගිය පාරෙ අන්තිමට තිබ්බ පදුරු ගොල්ල අස්සෙන් ලාවට මට මොනාදෝ පේන්න ගත්තා ගිනි ගන්නව කැලේ සට පට ගාලා.මං පිස්සුවෙන් වගේ පදුරු ඈත් මෑත් කරගෙන තරුව දිහාට පැන්නා මැරෙන්න හරි!.
මං මගේ ජීවිතේ දැකපු අමුතුම දේ දැක්කෙ එදා!.ගිනි ගොඩක් මැද්දෙ බිත්තරේකට අල්ලපු බිලී පිති වගෙ උස කනු කෑලි ගොඩක් වගේ අමුතු භාන්ඩයක්!.ගින්දරට දිලිසෙනව ඒකෙ මතුපිට හරිම පුදුම විදිහට තැනින් තැනින් අමුතු චිත්‍ර ඇදලා.අකුරුද මංදා කියලත් හිතුනා.යන්තං ඒ බිත්තරේ ඇතුල පේන්න වගේ නිසා මං වශී වෙලා වගේ ඒ පැත්තට ඇදුනා."මේ මොන තරුවක්ද මේ?!.තරුවෙ කෑලි කඩන්න කෙසේ වෙතත් මට ඉන්න තැනත් අමතක වෙලායි තිබ්බෙ.බිත්තරේ අස්සෙ කලුවරයි සැරින් සැරේ නිල්පාට කනාමැදිරි එලි වගේ එලි පත්තුවෙනව.මං තව පොඩ්ඩක් ඇතුල බලන්න ලං වෙනකොටම.මොකෙක්දෝ මංදා සද්දෙට "එර්ර්ර්!".වගේ අමුතු සද්දයක් දැම්ම.පන ගිහිං මැරුනෙ නැති ටික විතරයි.මට හයියෙන් කෑගැහුනා.
"අම්මෝ!"
ඒ මං බිත්තරේටම විතරක් නැත්නං මගෙ තරුවටම විතරක් අවදානේ දුන්න නිසා වෙන්නැති.මං සද්දෙ ආව පැත්තට වෙව්ල වෙව්ල හැරුනා.අර බූත තරුවෙ බිලී පිති කෑල්ලක් වෙන්නැති ඈතින් වැටිලා.පොඩ්ඩක් ගිනිගොඩෙන් එහාට වෙන්න.ඒ කනුව බදං මනුස්සයෙක් වගේ කව්ද මංදා හිටියා.ඇගම රිදීපාට ඇදුමකින් වැහිලා."අම්මෝ කැලෑ බූතයෙක්ද කොහෙද?".ඒකා හිටපු විදිහට මට පුදුම බය හිතුනා.තරුවෙ කෑලි එපා කියල මං දුවන්න ලෑස්ති වෙද්දි බූතයා කෑ ගැහුවා."අර්ර් නෝ නෝ!!".මං කොච්චර මෝඩයිද කියල හිතෙනව ඇති.මං දුවන්නැතුව බලාන හිටියා.බූතයො ගැන මිනිස්සු කියන කතා මගේ ඔලුවෙ දුවන්න ගත්තෙ තරුව ගැන හිතෙන ඒවත් එක්ක කවලං වෙලා විකාර විදිහට.මට බූතයා කියපුවා මොනවත් තේරුනේ නෑ!."වෝට වෝට වෝට"වගෙ තමා ඇහුනේ.එකතැනටම වෙලා කෑගහන හින්දා මං හිතට හයිය අරං හෙමීට පස්සෙන් පස්සට ඇවිත් බිම වැටිලා තිබ්බ අතට අහූන තරු කෑල්ලක් නැවිලා ගත්තා.අරං මං පස්ස නොබලා කැලෙන් එලියට දිව්වා.මං දුවනකං "වෝට වෝට පීස් ඩොන්ගෝ ඩොන්ගෝ" වගෙ සද්ද බද්ද ඇහුනා.මං සද්දෙ නැති වෙනකං දිව්වා.වේගෙන් දිව්වා.හුමාල කැලෙං එලියට එනකම්ම නවතින්නැතුව දිව්වා.එලියට ඇදුන ගමං මං හැරිල පස්ස බැලුවා.තාම බූත තරුව දිස්නෙ ගහනව.කැලේම ලස්සන කරං.මට සතුටුයි මං බූතයෙක්ගෙන් බේරුනා.තරු කෑල්ලකුත් තියෙනව.මං අතේ තිබ්බ තරු කෑල්ල හද එලියට ඇල්ලුවා."අම්මේ ලස්සන".රිදී පාටට දිලිසෙද්දි හරි ලස්ස්නයි.ටිකක් වෙලා කැලෑ මායිමේම ඉදං තරු කෑල්ලෙ ලස්සන බලලං මං ඒක පරේස්සමට සාක්කුවේ දාගෙන අහස බැලුවා.අහසේ තරු දිලිසෙනව.
"ලස්සනයි!"
👉දේශාද් සිත්සර සෙනවිරත්න
🙋Meet ''deshad'' on F.B - https://www.facebook.com/DeshaDz
(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)

❤️❤️
ReplyDelete