හිමි වූ අහිමි වූ
මං ජීවිතේම හීන මැව්වේ මගේ කියලා කෙනෙක් මට කවදාහරි ලැබෙයි කියලා. මට තරම් කියන්න කතා වෙන කෙනෙක්ට නැතුව ඇති. නමුත් මම තරම් ඒකපාර්ශ්වික ව කවුරුත් ආදරේ කරන්නත් නැතුව ඇති. මට හැමදාම ආදරේ කරන කෙනා ව අමතක කරන්න වුණා. එක්කෝ වෙන කෙනෙක්ට දන්දෙන්න වුණා. මං ලොකු වේදනාවකින් හිටියා. ඒ වගේම කේන්තියකින්. මොකද කවුරුත් නතරවුණේ නෑ. මං හැමදාම ඇඩුවා. එකම මෝඩකම ආපහු ආපහු කළා. එක එක ආදර කතා වෙනස් විදියට ගලා ගියත්, එකම දෙයක් පොදු වුණා.
එක දවසක් තේරුම් යනතුරු, හුගක් ආදර කතාවල ආදරේ නැතුව පිට ඔපයක් ලෝකෙට පෙන්නන බවත්, ආදරේ කරන අය පුරුද්දක් වශයෙන් සම්බන්ධතා පවත්වාගෙන යන බවත්, කාගෙන්වත් සෑහීමකට පත් නොවී හිතින් හරි වෙන අයත් සමඟ වරදේ බැඳන බවත්, ආදරේ වෙනස් වෙන බවත්, එක්කෙනෙකුට ආදරේ කරනවා කියන්නේ බොරුවක් බවත්. මිනිස්සු හිත හදාගෙන තවත් කෙනෙකුට ආපහු ආදරේ කරන්න පුරුදු වෙනවා. ඒ වගේම කලින් කෙනාට කරපු ආදරේ විනාශ වෙලා යන්නේ නෑ. කෙනෙකුට කරන ආදරේ විවිධ විදියට ජීවිත කාලෙම ඒ මනුස්සයාගේ පෞරුෂය ඇතුළේ හැංගිලා තියෙනවා.
වටිනාම දේ ආදරේ කරන එක යි, පෙරළා ලැබුණත් නැතත්.
දුක්වෙන්න හරි ආදරයක් නැති මනුස්සයෙක් හරියට ජීවත්වෙලාත් නෑ. පුද්ගලයෙකුට ආදරේ නොකර ආදරේට, ආදරය කරන්න ඉගෙනගත්ත දවසට මිනිස්සු දාලා ගියපු අයගෙන් පලිගන්න නොහිතාවි. හැමකෙනාම ජීවිතේට දීලා ගියපු ලස්සන දේ ගැන හිතුවොත්, විරහව වුණත් කොච්චර උණුසුම්ද කියලා තේරුම් යයි. දුයිශෙන්, අල්තීනායි කවදාහරි එක්වෙන්න නොතිබුණු දෙදෙනෙක්. දුයිශෙන් ඒක දැනන් හිටියත් අල්තීනායි දැනන් හිටියේ නෑ. දුයිශෙන් පුලුවන් හැම මොහොතෙම ආදරේ කරලා, හරි මොහොතෙදී යන්න දුන්නා. පොප්ලර් ගස් සෙලවෙන හැම වෙලාවකම අල්තීනායි මතක් වුනත්, ඒ වේදනාව ආදරෙන් නොවින්දා නම්, අල්තීනායි කැළේට පරවෙලා යන්න තිබ්බා. සිදුහත් කුමාරයාට යශෝදරාව වේදනාවෙන් වුණත් යන්න නොදුන්නා නම්......... අද කාලේ වගේ නම් දරුවෙක් එක්ක තනිකළාට වන්දි ඉල්ලන්නත් තිබ්බා. ආදරේ කියන්නේ අතහැරීමත් ආදරෙන් බාරගැනීම බව තේරුම් යනතුරු එකම චක්‍රය ආපහු ආපහු කැරකෙනවා.
පියුමිකා ජයවර්ධන
වෛද්‍ය පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Comments
Post a Comment