"රමේෂ් බස්නායක,
ජයතිලක ශාලාව,
පේරාදෙණිය සරසවිය.
2019/09/26
බුදු සරණයි.
ආදරණීය ......
මේ ලියුම ලිවීම පිළිබඳව මම බොහෝ සෙයින් කල්පනා කලෙමි. මාගේ නවකතාව නිකුත් කළ දිනයේ ඔබ සහභාගී නොවීම මාගේ සිතේ සියුම් වේදනාවක් ඇති කලේ එම නවකතාව සදහා වස්තු බීජය වූයේද නුඹ නිසාවෙනි. මා නුඹ ගැන අප ගැන සියල්ල දැන සිටියේ යැයි සිතා සිටියත් එය හුදෙක් අසත්‍යයක් බව වැටහුනේ මෙම ලියුම ලිවීම ආරම්භ කිරීමත් සමගයි. මන් ද යත් මෙහි ආමන්ත්‍රණය ලිවීමට වත් ඔබගේ නාමය මා නොදන්නා බැවිනි. වසර ගණනක් හොදින් දන්නා ලබැඳියකුගේ නම නොදැනීම සාධාරණීකරණය කරන්නේ කෙසේ දැයි මම නොදනිමි. නමුත් ආත්මයන් හදුනා ගෙන ඇසුරු කිරීමෙන් ගොඩ නැගුණු අපේ බැඳීම් නාමයන් වැනි සමාජ සම්මතයන්ගෙන් ස්වායක්ත වූවක් බව මට හැඟෙයි. අප හමු වූයේ සරසවියේදීය. එම දිනය මට තවමත් මතකය. ඔබටත් එය මතකද ?
එදින මම ජයතිලක ශාලව ඉදිරියේ මාගේ යතුරු පැදිය නවතා මාහට යහළුවෙක්ගෙන් පැමිණි දුරකථන ඇමතුමකට පිළිතුරු ලබා දෙමින් සිටියෙමි. ඒ අතර විජේවර්ධනය දෙසින් පැමිණි කළබලයෙන් දිව ආ තරුණියකි. ඇගේ කොණ්ඩය රන් පැහැතිය. එය ස්වාභාවිකව ඇති වූ පැහැයකි. යුරෝපියානුවෙකු මෙන් කොණ්ඩය පිහිටියද ඇය පෙනුමෙන් හා හමෙහි පාටින් ශ්‍රී ලාංකික තරුණියකි. ඔව්, ඒ ඔබයි. මඳකට දෑස සොරකම් කළ ඒ රුව කෙරෙහි අවධානයෙන් මිදුනු මා නැවත මාගේ දුරකථනය වෙත යොමුවිණි. නමුත් එය කෙටි කාලයකි. එක් වරම මාගේ යතුරු පැදියට නැගි ඔබ
"ඉක්මනට යමු. පරක්කු වෙලා. "
මා එදින ඔබගේ වචනයට අවනත වූයේ ඇයි දැයි නොදනෙමි. නමුත් මාගේ යතුරුපැදිය මීළඟ නැවතුම වූයේ කළමණාකරණ පීඨයයි. දහසකුත් ස්තූති කළ ඔබ එදා පිටව ගියා නොව මා තුලට පැමිණියා ය. නිතරම කිසිවෙකුත් සමග කතා බහක් නොමැතිව තනිව සිටි නුඹ මා සමග ඒ දිනෙන් පසුව සුහද වීම මා හට පුදුමයෙකි. පරාජිතයෙක් ලෙස මා මාව ම හංවඩු ගසමින් සිටි කාලයක ඔබ මා තුළින් කුමක් දුටුවාද යන්න පැහැදිලි නැත. නමුත් මා තුල ආත්ම විශ්වාසය ඇති කර මෙතරම් දුරක් පැමිණීමට එය ඉවහල් වුණ බව නම් සදාතනික සත්‍යයකි. නමුත් ඔබද මා හට කෙදිනකවත් මාගේ නමින් කතා කර නොමැත. සැබැවින්ම ඔබත් මාගේ නම නොදැන සිටියා නොවේ ද?
මා අප ගැන ඔබ ගැන සියල්ල දැනන් සිටි බව සිතා සිටියත් මට දැන් එය ගැන විශ්වාසයක් නොමැත. ඔබගෙන් දැන ගැනීමට ඇති කාරණා බොහෝමයි. නමුත් නැවත අපි මුණ ගැසේ දැයි විශ්වාසයක් නොමැත. අපගේ පළමු හමු වීම සරසවියේදී පෙර කී පරිදි සිදු වූ බව සිතා සිටියත් එය සත්‍යය නොවන බව පෙර දිනයේ නවකතාවේ පිළිගැන්වීමේ උත්සවයේදී වැටහිණි. මා ඔබ එනතෙක් ඇතුලත් වීමේ දොරටුව දෙස බැලූ වාර අනන්තය. එය මා හට මාගේ අමතක කර දැමූ මතකයන් කිහිපයන් මතක් කර දුන්නේය.
කුඩා කළ මා ජීවත් වූයේ ගැටහැත්ත ප්‍රදේශයේ කුඩා ගම්මානයකය. නිවසට තරමක් ඈතින් පිහිටි පුරන් වූ කුඹුරකි. ඔබට මතකද ඒ අසලින් ගලා ගිය දොළ පහර. මා හිතනවා ඔබට එය මතක ඇති බවට. ආත්තම්මාට අනුව දිය බහින තැන් වල අවතාර ගැවසීම හේතුවෙන් මා හට හවස් යාමයේ කුඹුරට යාම මට තහනම් කර තිබිණි. ඇයගේ අවෑමෙන් පසු පියා සමග නිවසේ තනිවූ මා ගැන සෙවීමට බැලීමට ද ඔහුට කාලයක් නොවීය. රැකියාව හා අශ්ව ඔට්ටු ඔහුගේ ජීවිතය වී තිබිණි. වයස අවුරුදු හතක් පමණ වූ කුඩා මා හට අස්වැසිල්ලකට වූයේ පුරන් වූ කුඹුරේ ඉහළ කෙළවර දොළ පාරට මායිම් වූ කුඩා ගල් පොත්තයි. හවස් කාලයේදී එයට නැගි මා ඇතීන් අනිත් සරුංගල් යවමින් සිටි ළමුන් දෙස බලා සිටීම විනෝදාංශයක් විය.
නමුත් එක් දිනයක එය වෙනස් විය. එදින් මා ගල් පොත්තට පැමිණෙන විට එය මත හිඳ හඬමින් සිටි සම වයස් දැරියකි. ඇයගේ කොණ්ඩය රන් පැහැතිය. ඒ නිසැකවම ඔබ විය යුතුය. බීමත් පියාගේ නිවස තුල දරුවන් ඉදිරයේම නිතර අඬදබර කිරීම හා මවට අසභ්‍ය ලෙස චෝදනා කරමින් බැන වැදීම හා පහරදීම් දරා ගත නොහැකිව ඔබ අසරණව ගල් පොත්තට පැමිණ ඇත. කිසිදාක විඳ නොමැති මවගේ ආදරය , දින ගනන් නිවසට නොපැමිණෙන පියාගේ ආදරය නො ලද මා හට අඬදබර කරමින් හෝ ඔබට පවුලක් තිබීම පිළිබදව සතුටක් හා සියුම් ඉරිසියාවක් තිබිණි. මෙතෙක් අරමුණක් නොතිබූ මා හට ඔබව සතුටින් තැබීම අරමුණක් විය. මා ඔබට ප්‍රේමය කලාද.. ? එය මට තවමත් ප්‍රෙහෙලිකාවකි.
ඔබට මතකද අපි සරුංගල් යවන ළමුන් දෙස බලා දිනක් අප සරුංගලයක් සාදා යැවීමට දැරූ උත්සහය. එය මතක් කිරීමත් මුවට සිනහවක් ගෙන දෙයි. අප දෙදෙනාම සරුංගලයක් සෑදීමට හෝ යැවීමට දැන ගෙන සිටියේ නෑ. අප සෑදූ යම් දෙය කුමන හෝ ආකරයට සුළඟට ගොස් අහසේ රැඳීම අප දෙදෙනාගේම සිත් සුවපත් කළ බව නොරහසකි. අප වසර ගණනක්ම එම ගල් පොත්ත මතදී මුණ ගැසී ඇත. නමුත් කිසි දිනක මා ඔබේ නිවස වෙතත් ඔබ මගේ නිවස වෙතත් පැමිණ නැත. ඔබේ පාසල, යහළුවන් පිළිබඳව කිසිවක් ඔබ පවසා නැත. අප දෙදෙනා කතා කලේ කුමක් ද.? අප හදවත් කතා කළ බව දනිමි. ඔබගෙන් ධෛර්ය අරමුණු උපදවා ගත් මා එකොළහ වසරේදී ලද උසස් ප්‍රතිඵල ලබා එය ඔබ සමග බෙදා ගැනීමට පැමිණියත් ඔබ එහි නොසිටියා ය. ඔබ නැවත කිසි දිනක නොපැමිණියා ය. මා දින කිහිපයක් ඔබ වෙනුවෙන් බලා සිටි බව මතකයේ පවතී. නමුත් ඔබව සම්පූර්ණයෙන් ම මතකයෙන් මැකී යාමට හේතුව නොදනිමි. මේ ගතවූ වසර අටටම ඔබව මා කුඩා කල සිට හදුනන බව මතකයේ නොතිබිණි. එය කුමන ආකාරයක ප්‍රේමයක් ද?
සරසවියට තේරී පත් වූ පසු පියාගේ හදිසි ඇවෑම, අසාර්ථක ආදර සබදතා කිහිපය නැවත අරමුණෙන් තොර ජීවිතයට මා යොමු කළේය. එදින ඔබ නැවත හමු වීම මා නැවතත් අරමුණක් කරා යොමු කිරීමට සමත් විය. මා තුල සිටි රචකයා නැතහොත් නිර්මාණකරු බාහිරට පැමිණිමීට ඔබ හේතු විය.
ඔබට මතකද මීට තෙමසකට පෙර රාත්‍රියේදී අප ජයතිලකයේ ඉදිරියේ බංකුව මත කතා කරමින් සිටි අවස්ථාව, එදින මාගේ යහළුවෙක් එය දැක මා හටම එය අත්භූත යුවලක් ගැන පැවසීම. ඔබට මතකද එදිනම මා එතනින් පිටත්ව යන තෙක් ඔබ විජේවර්ධන ශාලව තුල ආපන ශාලවේ සිට මා දෙස බලා සිටීම. බොහෝ දෙනෙක් එය අත්භූත සිදුවීම් ලෙස කතා මවන්නට විය. නමුත් එය එසේ පැතිරෙන්නට දී අප දෙදෙනා සියල්ලන්ටම සැඟවී ඒ දෙස සිනාසුනු සැටි. එම සිදුවීම මගේ සැඟව සිටි නිර්මාණ කරුවා බාහිරට කැඳවීමට සමත් විය.
එයින් උපත ලැබූ නිර්මාණය මගේ නව කතාවයි. එම කතාවට අනුව ඔබ කිසිදා නොසිටි අත්භූත ප්‍රේමවන්තියයි. නමුත් ඔබ සිටිනා බව දනිමි. මා සත්‍ය වශයෙන්ම පවතින පුද්ගලයෙක්දැයි මා හට සැකයක් මතුව ඇත. ඇතැම් අවස්ථාවන් හි මා දකිනා සිහිනයකි. " ජනාකීර්ණ මාර්ගයක හුදකලා වූ පදික වේදිකාවක් මත මා සිට ගෙන සිටියි . අනික් පස මිනිසුන්ගෙන් පිරී ඇත. මා මාහට හැකි තරම් ශබ්දයෙන් ඔවුනට හඬ ගසයි. මට ආපසු ඇසෙනා හඬ මගේ හඬෙහිම දෝංකාරයද නැතහොත් ඔබගේ හඬද යන්න වෙන් කර ගත නොහැකිය. " නමුත් මා දන්නා කාරණයකි. ඔබ මාර්ගයෙන් අනිත් පස හුදකලාව පදික වේදිකව මත සිට මට හඩ ගසනු ඇති. ඔබට ද මා හට මෙන්ම ජනාකීර්ණ වූ මා පසින් එන ශබ්දය දෝංකාරය ද නැතහොත් මගේ ශබ්දය ද යන්න තේරුම් ගැනීමට නොහැකිව සිටිනවා ඇති.
මන්ද යත් ඔබත් මාත් එකම කාසියකි. නමුත් පැති දෙකකි.
ඔබේම අාදරණිය..
රමේෂ් "
-උපුටා ගැනීම : The lady with Golden Hair - ශදීෂා සමරසිංහ රචනයක්. -
*************************
*************************
*************************
*************************
පුන්සර හෙට්ටිආරච්චි
ඉංජිනේරු පීඨය

Comments
Post a Comment