පරිත්‍යාගය

"නිවී ඔයා තරම් සුදු නෑ, එයා හිනා වෙද්දි දීපිකා පදුකෝන් වගේ ඩ්ම්පල්ස් එනව, ඒත් ඉතිං එයා එච්චර ලස්සන නම් නෑ, මං එයාට කැමති උනේ ඇයි ද කියන්න දන්නෑ මියැසි" චමත් වැඩි කතාවක් නැති කෙනෙක්. එයා එහෙම වුනේ නිවී නිසා කියල අම්මල කිව්වත්, එයා මං එක්ක ඉද්දි හුඟාක් දේවක් කතා කරා. වැඩිපුරම කතා කරේ නිවී ගැන. "නිවී ව වැඩිය දන්නෙ නැති කෙනෙක් ට නම් හිතෙයි එයා නමටම මැච් වෙන නිවුන සැනසුන කෙනෙක් කියල, ඒත් මියැසි එයා කා එක්ක හරි ෆිට් උනොත් කියවනව ඉවරයක් නැතුව." නිවී ගැන කියද්දි චමත්ගෙ මූණ ට ලස්සන එළියක් වැටෙනව. එයාගෙ ඇස් වලින් නමක් දෙන්න බැරි විදියෙ හැඟීම් උතුරනවා. ඒ ඇස් දිහා බලාගෙන කවි ලියන්න පුළුවන්. මං ආසම චමත් මං එක්ක ඉද්දි නිවී ගැන කියන කතා අහගෙන ඉන්න. "නිවී යි මායි යාළුවො උන මුල් කාලෙ නිවී හරිම නිහඬයි. ඒත් එයාගෙ ඇස් වල කතා ගොඩක් තිබුණ. එයා මේ ලෝකෙ ආස කරපු දේවල් හරිම ටිකයි තිබුනෙ. ඉතිං මාර අමාරු උනා මට එයා ආස ටොපික් එකක් හොයා ගන්න. කතාවට පටල ගන්න නම් ඉතිං එයා ආස දෙයක් ගැන කියන්නම එපැයි. පස්සෙ පස්සෙ එයා පුදුම විදියට කියවන්න ගත්ත. එයා මොනවහරි ගැන කියද්දි බලන් ඉන්න ලස්සනයි. ෆේෂල් එක්ස්ප්‍රෂන් එහෙම ඇක්ට්‍රස් කෙනෙක් ගෙ වගේ. අහන් ඉඳල කන් රිදෙන්න ගත්තම මං මූණ දිහාම බලන් ඉන්නව, පස්සෙ එයාට තේරෙනව මං අහන් ඉන්නෙ නෑ කියල, ඉතිං ඔන්න රණ්ඩු වෙන්න පටන් ගන්නව. තරහ ගියාම වචනයක්වත් කතා කරන්නෙ නෑ. යාළු කරගන්න හරිම අමාරුයි... මං ඉතිං මාර ගේමක් දෙන්නෙ , යාළු උනාම මුලින්ම කරන්නෙ අඬන එක..... පිස්සියෙක් වෙලාවකට... දන්නවද මියැසි , ඒ වෙලාවට මං මුකූත්ම නොකිය ඉන්නවා. එතකොට ඔන්න කඳුළු පිහිදගෙන , ටිකක් වෙලා සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සෙ පොරොන්දු... ආයි තරහ වෙන් නෑ, අරකද මේකද.... රටේ නැති පොරොන්දු " චමත් ලස්සන හිනාවක් ගියා ඒක කියද්දි. "මට වෙලාවකට එයා ගැන හරි දුකයි මියැසි, එයාගෙ ජීවිතේ ලොකුම හීනෙ මට හැබෑ කරන්න බැරි උනා" "ඒ මොකද්ද ?" "එයාට ආසයි කිව්ව සමන් පිච්ච , ගැට පිච්ච , ඉන්දියන් පිච්ච, දෑ සමන්, පොකුරු පිච්ච වගේ හැම පිච්ච වර්ගෙකින්ම මල් පුරවපු වට්ටියක් රුවන්වැලි මහා සෑයට පූජ කරලා, මළුවෙ වාඩි වෙලා රැයක් ගත කරන්න, හැබැයි පෝය දවසක නෙමේ කිව්ව" "ඒ මොකෝ ඒ?" "එයා ආස නෑ මියැසි මිනිස්සු හුඟාක් ගැවසෙද්දි. නිදහසේ කලබල නැති ජීවිතේකට තමා එයා ආස. හැම තැනදිම එයා එහෙම හිතුවා." "පුදුම කෙනෙක් චමත්, මට හිතාගන්න බෑ ඔයා ඒ දේ කොහොම දරාගත්තද කියල ." "නිවී ම තමයි ඒකට හේතුවත්, එයා හුඟාක් විස්වාස කරා ඊලඟ ආත්මයක් ගැන. මට නිතරම කිව්ව අපි දෙන්නගෙන් කවුරු හරි ඉස්සෙල්ල මැරෙයි. කොච්චර දුක උනත් දරාගන්න බැරි නෑ. අපි නිවන් දකින තුරා උපදින හැම ආත්මෙම හමුවෙයි කිව්ව. ඒ නිසා පුංචි සමුගැනීමක් විතරයි කිව්ව" මගේ ඇස් වලත් කඳුළු පිරුණ. " ඔයා කොයි තරම් නිවී ට ආදරේ කරන්න ඇතිද කියල මට හිතාගන්න පුළුවන්, ඒත් මට පුදුම කෙනෙක් ට තව කෙනෙක් වෙනුවෙන් එච්චර ආදරයක් හිතේ උපදින්න පුළුවන් ද? කොහොමද හිතින් ඒ තරම් දෙයක් දරාගෙන ඉන්නෙ කියල...." "මියැසි," "ම්ම්... ඇයි?" "ඒ කොහොමද කියල කියන්නද?" "හා" "මං නිවී ගැන විතරක්ම කියද්දි , ඔයා ඒ දේවල් අහගෙන ඉන්නෙ ලස්සන සුරංගනා කතාවක් අහන් ඉන්න පුංචි දූ පැටියෙක් වගේ... ඉතිං ඔයා මට කොච්චර ආදරේ ඇතිද මියැසි... ඇත්තටම මං නිවීට ඒ තරම් නම් ආදරේ නෑ...." " එහෙනම් මං මේ ආත්මෙ ඉතුරු ටිකේ ඔයාගෙ වෙලා ඔයාට ආදරේ කරන්න කියා දෙන්නම්, ඔයා ඊලඟ ට නිවී ව හමු උනාම ඒ ආදරේ එයාට දෙන්න...." "මියැසි , කොහොමද ඔය වගේ කතා කියන්නෙ......." "ඇත්තටම මං ආදරේ කරන්නෙ ඔයාට විතරක් නෙමෙයි, ඔයාටයි ඔයාගෙ නිවීටයි දෙන්නටම.... ඇත්තමයි චමත් මං ඔයාට හරිම ආදරෙයි...." ආදරේ පරිත්‍යාගයක්. මං ඒක හැමදාම විස්වාස කරා. චමත් වෙනුවෙන් මට ඒ පරිත්‍යාගය කරන්න ලැබීමත් ලොකු සතුටක්. ආදරේ හුඟක්ම මිහිරිව දැනෙන්න නම්, ඒ පරිත්‍යාගය කරන්නම ඕනෙ.... ප්‍රතිභානි ගුණවීර වෛද්‍ය පීඨය - රුහුණ විශ්වවිද්‍යාලය

Comments