අසම්පූර්ණ හැඟීම්
අන්ධ වූ ජීවිතයක ඇති දෑස් යුගලයකින්ම ගමන් කළා නම් අද මා මෙතන නොවේ. සියල්ලටම කළින් මම ස්තුතිවන්ත වෙමි මාගේ චින්තනයට මෙහෙය වීම සම්බන්ධව.
ජීවිතයේ එක් එක් අවධීන්වල දී අපට සුන්දර වූත්, අපූරු වූත්, කළකිරීම් සහගත වූත් මිනිසුන් හමුවේ. ඔවුන් මධ්‍යයේ අපි තාමත් නොදරුවන් ය. සියල්ල සම සිතින් දරා ගැනීමට පුරුදු වූ කල අප සමීපතමයන් අපට මොනයම් ආකාරයකින් සැලකුව ද එය අපට කම් නැත. නමුත් සැලකීමකින් තොර වු හැඟීමක අන්තයට පත් වහලෙකු වූ විට අපි අපේ ම සිත තුළ සිරකරුවෝ ද වෙමු. ඒ ආකාරයෙන් ගතහොත් ගුරුත්වාකර්ෂණය අඩු මගේ හදවතේ උඩින් ම ඉන්නේ නුඹ, මට මගේම යැයි දැනෙන නුඹ. මගේ හදවතේ නුඹ පතුලට ම කිඳා බැස නටබුන් මතකයක් ව දිරාපත් වී යනවාට මම ද කැමතිය. නමුත් හදවතේ උඩින්ම ඉන්න නුඹ සෑම රාත්‍රියක දීම, සෑම උදයක දීම, සෑම සන්ධ්‍යාවක දීම මගේ දෑස් ඉදිරිපිට දෘශ්‍යමාන වෙනවා. ඒ සිතුවිල්ල සාදරයෙන් පිළිගන්න ද කියා මා තවම නොදනියි. ඒත් ඒ එන්නේ නුඹ.
මගේ නොවුණ මා හමුවීමටත් මත්තෙන් ඇගේ වුණ, කිසිම දිනක මා වෙනුවෙන් නුඹේ හුස්මක්වත් වෙන් නොවුණ, කෙටියෙන් කීවොත් මගේ නමවත් නොදන්න නුඹ.
අහේතුකව මා නුඹ දුටු පළමු දිනය මට තවම මතක ය; එදින ම එක් ක්ෂණයක් යාමට මත්තෙන් මම නුඹට ආදරය කිරීමට පටන් ගතිමි. මම මාගේ අහේතුක ආදරයට ආලය කරමි. ඊට හේතුව නුඹෙන් නික්ම යන දිනක මාගේ ආදරය ද නැති වන්නට ද ඉඩ තිබෙන බැවිනි. එසේ මගේ පළමු ඒකපාර්ශ්වික ආදරය නුඹ නමින් හදවතේ ලියවුණි.
නුඹට කළ ඉතා ගැඹුරු ඒකපාර්ශ්වික ආදරයට ණයගැති වන්නට මා උගත් එක් කරුණක් වේ. ඒ මාගේ හදවතේ ඇතිවන සෑම සතුටකටම, සෑම දුකකටම හේතුව වන්නේ මම ම වේ යන කාරණයයි. එයට අන්‍ය පුද්ගලයන්ගේ බලපෑමක් නොමැති බව මට වැටහුණි. මාගේ ජීවිතයේ මෙතෙක් ගෙවූ වසරවල සම්පුර්ණයි අසම්පූර්ණයි යන්නෙන් ලැයිස්තුවක් සකස් කළොත් එහි අසම්පූර්ණ ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ නුඹේ නම; මගේ අසම්පූර්ණ හැඟීම නුඹ, සෑම මොහොතකම මා පෙළන මානසික ව්‍යාධිය නුඹයි, නැවතත් සිත සන්සුන් කරන මනෝ චිකිත්සාවද නුඹයි. මට නුඹමයි, නුඹට ඇයමයි.
මාගේ ආදරණීය චින්තනය උසස් යැයි සිතමි. ඒ නිසා වෙන්නැති නුඹටත් නුඹට පතිනිය වූ ඇයටත් මම එක වගේම ආදරය කරන්නේ ඇයට දහස් වාරයක් ස්තුතිවන්ත වෙමි, නුඹට දෙවැනි මවක්ව ආදරය කරනවාට, දෙයක් අහිමි වීමට ඒ දෙය අපට හිමි විය යුතු ය. ඉතිං නුඹ මාගේ හිමි වීම ද නොවේ, නුඹ මාගේ නිරුවත් හැඟීමයි, හරි පිරිසිදු ආදරය යි.
දරා ගැනීම්වලින් ශක්තිමත් වුණාම ජීවිතයේ අපි හුදකලා වෙනවා. නව ආලයකට හුස්ම දෙන්න බැරි වුනාට නොලැබෙන ආදරය මත්තෙම මිය දෙනවා.
අවසානයේ,
චින්තනය ඒකපාර්ශ්වික වූ කල, හදවතේ හැඟීම්වල රස ද, හදවතේ හැඟීම්වල විස ද, අන් හදට දොස් නොපරවා විඳීමට පටන් ගත් කල වදනකට එහා ගිය වචනයක ප්‍රාණයක් අත් විදින කාලයක අනිවාර්යයෙන් ම සුන්දර වූ ද, රාගයෙන් තොර වූ ද, භාවනාවක් වන් වූ ආදරයක ඒකපාර්ශ්වික හිමිකරුවෙකුව ජීවත් වනු ඇත. මා අදටත් අහනවා, මගේ බුදුන්ගෙන් නොව නුඹේ ජේසුගෙන්, ඇයි නුඹව මට පෙන්වූයේ?
ඇයි නුඹව මට දැනුණේ?
ඇයි නුඹවම විතරක්?
ඇයි ? තවමත් පැනයකි, අසම්පූර්ණ වූ.
විදුෂිකා මල්දෙණිය
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

😍👌🏻👌🏻
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete"නුඹට කළ ඉතා ගැඹුරු ඒකපාර්ශ්වික ආදරයට ණයගැති වන්නට මා උගත් එක් කරුණක් වේ. ඒ මාගේ හදවතේ ඇතිවන සෑම සතුටකටම, සෑම දුකකටම හේතුව වන්නේ මම ම වේ යන කාරණයයි. එයට අන්‍ය පුද්ගලයන්ගේ බලපෑමක් නොමැති බව මට වැටහුණි." මේ ටික මාරම විදියට දැනුණා...අරුත්පුන් ලියමනක්! මේ විභව සරණියේ මා කියවූ පළමු ලියමනයි. එසැණින් ම එහි රසිකයෙක් බවට පත් වීමි.
ReplyDelete#විනුක_වලවගේ
2021.02.23
👌❤️❤️
ReplyDelete♥
ReplyDelete