Raise the Red Lantern (1991) : දල්වනු රතු ලන්තෑරුම
සටහන: යසසුරු ජයවර්ධන, වෛද්‍ය පීඨය
(ජේම්ස් බෙරාඩිනෙලී විසින් REELVIEWS හි තබන ලද සටහනක් ආශ්‍රයෙනි)
1990 දශකයේ නිර්මාණය වූ චිත්‍රපට අතර විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස සැලකිය හැකි චිත්‍රපටයකි,
Raise the Red Lantern. මෙය ගොං ලි සහ චෑං යිමෞ යන දෙදෙනාගේ හොඳම රංගන ශිල්පී/අධ්‍යක්ෂක සම්බන්ධතාව ලෙස ද සැලකේ. නරඹන අවස්ථාවේ දී පමණක් නොව ඉන් පසුවට ද ප්‍රේක්ෂකයා තමන් වෙත ඇදබැඳ තබාගන්නට සමත් විරළ ගණයේ සලරුවක් ලෙස මෙය හැඳින්විය හැක. සරල කථා පුවතකින් සමන්විත වුවද, Raise the Red Lantern හි අන්තර්ගත හැඟීම් ප්‍රකාශනය සහ තේමාව අතිශයින් සංකීර්ණ ය. මෙය චීනයේ නිර්මාණය වූ විශිෂ්ටතම සලරුවක් බව අවිවාදයෙන් පිළිගැනේ.
මෙහි කථාපුවතෙහි එන සොංලියෑන් (ගොං ලි) ධනවත් ඉඩම් හිමියකුගේ සිව්වන භාර්යාවයි. ඇය සෙසු හාර්යාවන් තිදෙනාගෙන් වෙනස් වන්නේ ඇය උගත් තැනැත්තියක බැවිනි. ඇගේ මනාපයකින් තොරව ඇගේ මව විසින් ඇයව විවාහ කරදෙනු ලැබෙයි. විවාහයත් සමඟ ඇගේ ලෝකය සැමියාගේ නිවසෙහි ඇය වෙසෙන කුඩා අංගණයට සීමාවන අතර, ඇයට එහි දක්නට ලැබෙන්නේ සිය සැමියා, ඔහුගේ පවුල සහ සේවක සේවිකාවන් පමණකි. ඇයගේ සේවයට සිටින තරුණ සේවිකාව (කොං ලින්) කෙරෙහි ඇය තුළ ඇත්තේ අප්‍රසාදයකි. මෙලෙසින් වර්ණවත් ආලෝකයෙන් සරසා තිබුණ ද, තමන්ගේ නව විසිතුරු නිවහන ප්‍රීතිමත් ස්ථානයක් නොවන බව නොබෝ කලකින්ම සොංලියෑන්ට හැඟී යයි.
නිවසේ ස්වාමියා රාත්‍රිය ගතකරන දිනයෙහි අදාළ උප භාර්යාවගේ නිවසෙහි පිටත ලන්තෑරුම් දැල්වීම පවුලේ සම්ප්‍රදායයකි. සොංලියෑන් නිවසට පැමිණියේ මෑතකදී බැවින් ස්වාමියා ඇගේ පරිශ්‍රයෙහි වැඩි කලක් ගතකරනු ඇතැයි හැඟවේ. නමුත් ඔවුන්ගේ මංගල රාත්‍රියේදීම ස්වාමියාට ඔහුගේ ප්‍රියතම තෙවන බිරිඳගේ (හේ කයිෆෙයි) නිවසට යන්නට සිදුවන්නේ ඇයට අසනීපයක් යැයි පැවසීම නිසායි. එදින සිට සිය ස්වාමියාගේ අවධානය දිනාගැනීම උදෙසා තමන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව සොංලියෑන් අවබෝධ කරගන්නී ය. කෙසේනමුත් ඔහුගේ අවධානය දිනාගැනීමට තමන්ට අවශ්‍යතාවයක් නොවූවත්, නිවසෙහි තමන්ට හිමිවන තත්ත්වය සිය ස්වාමියා තමන් කෙරෙහි දක්වන උනන්දුවේ ප්‍රමාණයට සමානුපාතික බව ඇයට පෙනී යයි.
පැමිණ දින කීපයකින්, සොංලියෑන් හට සිය සෙසු "සහෝදර" භාර්‍යාවන් හඳුනාගැනීමට අවස්ථාව හිමිවේ. වියපත් තැනැත්තියක වන පළමු බිරිඳ (ජින් ෂූයුවෑන්) සොංලියෑංව නොතකන අතර ඇයට සොංලියෑංගේ වයසෙහි පසුවන පුත්‍රයකු ද සිටියි. එනමුත් ඇය එතරම් ප්‍රතිවිරෝධී අයකු නොවේ. රූමත් ස්ත්‍රියක වන තෙවන බිරිඳ හිටපු ඔපෙරා ගායිකාවකි. ඇය සොංලියෑන් කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් පසුවන්නේ සිය ස්වාමියා මෙම උගත් නව බිරිඳ කරෙහි වශී වනු ඇතැයි සැකයෙනි. කෙසේනමුත් දෙවන උප භාර්යාව (කාඕ කුයිෆෙන්) කාරුණික තැනැත්තියක බැව් (චිත්‍රපටයේ මුල දී) පෙනෙන අතර, ඇය සිය පවුලේ නව සාමාජිකාවට මිත්‍රශීලීව සලකන්නී ය.
කෙසේනමුත්, චීන රජය Raise the Red Lantern චිත්‍රපටය අනුමත කළේ නැත. ඔබ මෙහි ඇති සරල, නමුත් තාත්වික කථා පුවත කෙරෙහි අවධානය යොමු කළහොත් එයට හේතුව කුමක්දැයි වැටහෙනු ඇත. මෙම සලරුවෙහි අන්තර්ගතය නූතන චීන සමාජයේ පවතින අක්‍රමිකතා සමඟ සැසඳිය හැක. මෙහි සොංලියෑන් මහජනයාටත්, ස්වාමියා චීන රජයටත්, නිවසෙහි පවත්නා ගුප්ත චාරිත්‍ර එරට නීති මාලාවටත් සමකළ හැක්කේ ය. නීති පිළිපදින්නන්ට වරප්‍රසාද ලබාදෙමින් නීති කඩකරන්නන් විනාශ කරනු ලබන මෙය යල්පිනූ සමාජ ක්‍රමයකි.
දේශපාලන අර්ථයෙන් ඔබ්බට ගොස් බලන කල, Raise the Red Lantern තුළින් සංවෘත, ආඥාදායක සමාජ ප්‍රජාවක් නිරූපණය කෙරෙයි. චිත්‍රපටයේ වැඩි කාලයක් පුරාවට නිරූපණය වන්නේ මුල්කාලීන චීන සමාජයේ විවිධ උප භාර්යාවන් අතර පැවති බල අරගලයයි. මෙහිදී වංචනික, දෙබිඩි පිළිවෙතක් සහිත තරගකාරීනට සිය රූමත් බව සහ ලිංගික ආකර්ෂණය යන සාධක බෙහෙවින් වාසිදායක වූ බැව් පෙනේ. විශේෂයෙන්ම පුත්‍රයකු වැදීම යන සාධකය කාන්තාවන්ගේ බලය වර්ධනය කරගැනීමෙහිලා අතිශයින්ම උපකාරී විය. සිවකීය ස්වාමියාගේ ප්‍රසාදය අනුව භාර්යාවන්ගේ බලය රඳාපැවතුණ ද, කෙතරම් පහසුවෙන් ස්වාමියා නම්මවා ගත හැකිවූයේ ද යන්න චෑං මෙහි මනාව නිරූපණය කොට ඇත.
එකිනෙකාට බෙහෙවින් වෙනස් මෙම භාර්‍යාවන් සිව්දෙනාගේ චරිත නිරූපණය රංගන ශිල්පිනියන් විසින් මනාව සිදුකොට ඇතිබව කිවයුතු ය. මෙහි අනෙක් භාර්‍යාවන් සිය "සොහොයුරියන්" යැයි සිතා කටයුතු කරන සොංලියෑන්ගේ චරිතය ගොං ලී නම් රංගන ශිල්පිනිය විසින් නිරූපණය කරන්නී ය. ගොං ගේ රංගනය හේතුවෙන් නරඹන්නා හට සොංලියෑන් කෙරෙහි අනුකම්පාවක් ඇතිවන්නේ නිතැතිනි. Raise the Red Lantern හි ඇති විස්මය දනවන චාරිත්‍ර මුල්බැසගත් ලොව වෙත අප කැඳවාගෙන යන්නට ඇය සමත් ය.
අධ්‍යක්ෂකවරයා විසින් විචිත්‍ර වර්ණානුසාරයෙන් මෙම සලරුව රූගත කොට ඇත. විශේෂයෙන්ම දෘශ්‍යමය අතින් සැලකූ විට Raise the Red Lantern නෙතට රසඳුනක් බඳු ය. එය චිත්‍රපටයෙහි හැඟීම් තීව්‍ර කිරීමට බෙහෙවින් උපකාරී වී ඇත. ඇමරිකානු චිත්‍රපට හා සැසඳීමේ දී මෙය රතු, තැඹිලි, සහ කහ යන වර්ණවලින් සංතෘප්ත ය. චිත්‍රපටයෙහි අලංකාරත්වය මඟින් එහි කථා පුවත ඔප්නැංවෙන බව අධ්‍යක්ෂක චෑං මනාව අවබෝධ කරගෙන ඇති බව පසක් වේ.
චිත්‍රපටය අවසානයේ සොංලියෑන්ට අත්වන ඉරණම බෙහෙවින් ඛේදජනක ය. එය මෙම අනන්‍ය වූ සලරුවෙහි සමාප්තියට ලබදෙන්නේ සුවිශේෂත්වයකි. චීන සිනමා කර්මාන්තයෙහි අග්‍ර කෘතියක් ලෙස සැලකිය හැකි මෙම සිනමා පටය 90 දශකයේ හොඳම චිත්‍රපට අතුරින් එකක් බව කිවමනා ය.
අධ්‍යක්ෂක: චෑං යිමෞ
චරිත නිරූපණය: ගොං ලී, කාඕ කුයිෆෙන්, හේ කයිෆෙයි, ජින් ෂූයුවෑන්, කො ලින්, මා ජිංවූ, චාඕ චී
තිර රචනය: නී චෙන් විසින්, සූ තොං ගේ Wives and Concubines නවකථාව ඇසුරිනි.
සිනෙමාරූපණය: යැං ලුන් සහ චාඕ ෆෙයි
සංගීතය: නඔකි තචිකවා සහ චාඕ ජිපිං
ධාවන කාලය: 2:05
ප්‍රවර්ගය: නාට්‍ය



Comments
Post a Comment