කොරෝනා සහ ලාංකීය සංස්කෘතිය | COVID-19



සටහන | එස්. කේ. රංජනා ප්‍රියශානි

මිනිසා සොබාදහම් මාතාවගෙන් වාසි ලබා ගත් කාලය අවසන් වී ගෙන එන සමය යැයි සිතීමට කාලය එළඹ ඇතැයි සිතමි. සොබාදහම් මාතාව මිනිසාට විරුද්ධ වෙමින් COVID-19 වසංගතය රටවල් දෙසීයක පමණ ව්‍යාප්ත වෙමින් පවතී.
     මානව කොරෝනා වෛරසය මුල් වරට හඳුනා ගත්තේ කුඩා දරුවන්ට වැළඳෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් ලෙසයි. මෙම මානව කොරෝනා වෛරසයේ ඉතිහාසය 1965 තරම් ඈත අතීතයකට දිව යයි. මෙම වෛරස වල මතුපිට පෘෂ්ඨයේ ඔටුනු හැඩැති පෙනුමක් තිබෙන බැවින් මෙම වෛරස කාණ්ඩය පොදුවේ කොරෝනා වෛරස ලෙස නම් කළ අතර පසුකාලීනව එය නව වෛරස කාණ්ඩයක් ලෙස හඳුන්වනු ලැබීය. 2003 වසරේ සිට නව මානව කොරෝනා වෛරස පහක් පමණ අවම වශයෙන් හඳුනා ගත් අතර , ඒ අතරින් SARS (Severe Acute Respiratory Syndrome) කොරෝනා වෛරසය ප්‍රමුඛ ස්ථානයක් ගනියි.
     දැනට ලොව පුරා වසංගතයක් ලෙස පැතිරී යන COVID-19 හෙවත් කොරෝනා වෛරසය 2019 වසරේ අග භාගයේ දී චීනයේ හුබෙයි නම් පළාතේ වූහාන් නගරය කේන්ද්‍රස්ථානය කර ගනිමින් ඒ ආශ්‍රිතව පැතිරුණු අතර මේ වන විට ලොව පුරා රටවල් දෙසීයක් පමණ පුරා පැතිරී ඇත. මේ හේතුවෙන් ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 1347566 ක් පමණ අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 74780 කට වඩා අධිකය.
     මෙම වෛරසය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හට ගන්නා රෝගයක් වන අතර , වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ මුවින් පිට වන කෙල බිඳිති , නාසයෙන් පිට වන ස්‍රාවයන් නිරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුළු වීමෙන් එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අනුව මෙම රෝගය වැළඳීම හෝ රෝගය නොවැළඳීම සිදු වේ. එබැවින් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත් මට්ටමින් පවත්වා ගත යුතු අතර එය අපට ස්වභාවයෙන්ම අප ගන්නා ආහාර පාන මගින් වර්ධනය කර ගත හැකිය. අතීතයේ පටන් අපේ සංස්කෘතියේ දක්නට ලැබුණු කොත්තමල්ලි , ඉඟුරු තම්බා පානය කිරීම අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය සඳහා ඉතා වැදගත් වේ. එබැවින් සෙම්ප්‍රතිශ්‍යාවක් , උණක් වැළඳුණු විට අපේ අතීත සිංහලයා බටහිර වෛද්‍ය විද්‍යාවට නැඹුරු වීමටත් පෙර මෙම සිංහල අත් බෙහෙත් භාවිතය සඳහා පුරුදු වීමෙන් එහි ඇති වැදගත්කම අපට මනාව පැහැදිලි කරයි.
     පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ආසාදනය වන මෙම රෝගය වලක්වා ගැනීම සඳහා අවම වශයෙන් තත්පර විස්සක් සබන් හෝ මද්‍යසාර අඩංගු විෂබීජනාශකයක් මගින් ජලය යොදා නිවැරදි ආකාරයට දෑත් සේදීම සිදු කළ යුතුයි. එමගින් වෛරසය විනාශ කර දමන අතර නිරෝගී පුද්ගලයෙකුට ආසාදනය විය හැකි ප්‍රවණතාව බොහෝ දුරට අවම කරයි. එසේම නොසේදූ අත් වලින් ඇස් , නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් වැලකිය යුතුය. අතීතයේ මිනිසුන් අතර බහුලව දක්නට ලැබුණු කහදියර යොදා විෂබීජනාශනය මෙයට කදිම නිදසුනකි. අප දන්නා පරිදි අතීතයේ මල ගෙදරකට ගොස් නිවසට පැමිණෙන පුද්ගලයා කහදියර වලින් නා පිරිසිදු වීමකින් තොරව කිසිවිටෙකත් නිවසට ඇතුළු නොවුණි. එලෙස විෂබීජනාශනක භාවිතය වර්තමානය වන විට Hand sanitizer ලෙස හඳුන්වන විෂබීජනාශනක දක්වා වෙනස් වුවද , අතීත සිංහලයාගේ යොදා ගත් මෙම ක්‍රම ශිල්ප වර්තමානයටද මනාව ගැළපෙන බව අපට කිව හැක.
     කොරෝනා වෛරසය බෝවීම වැලැක්වීම සඳහා ගම් මට්ටමින් ආයුර්වේද මධ්‍යස්ථාන වල පෙරුම්කායන් බෙදා දුන් බව අප හොඳින් දන්නා කරුණකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අතීතයේ බෝවන රෝග වලින් වැලකීම සඳහා පෙරුම්කායන් කැබැල්ලක් රෙදි පටියකින් අතේ පැළඳීමට ඔවුහු පුරුදු වී සිටියහ. එමගින් ඔවුහු අපේක්ෂා කළේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ස්වභාව ශක්තිය හා චිත්ත ශක්තිය මගින් රෝග සුව කිරීමයි. එමෙන්ම සමහර අවස්ථා වලදී පෙරුම්කායන් ගුලි පානය කිරීමෙන් වා, පිත්, සෙම් රෝග නසන බව ඔවුන්ගේ විශ්වාසය විය. මෙලෙස රෝග වලින් ආරක්ෂා වීම සඳහා ස්වභාවික ක්‍රම අනුගමනය කළ ඔවුහු සොබාදහම සමඟ නිරතුරුවම අත්වැල් බැඳ ගෙන සිටියහ.

අතීතයේ පැපොල , කම්මුල්ගාය වැනි රෝග දෙයියන්ගේ ලෙඩ ලෙස හැඳින්වූ අතර නිවසේ එවැනි රෝගයක් සහිත රෝගියකු සිටියේ නම් පවුලේ අනෙක් සාමාජිකයන් සහ අවට පුද්ගලයන්ගෙන් තමා වෙන් වී දින 14 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් වීමටත් ඉන්පසු කහදියර වැනි විෂබීජනාශනක වලින් නා පිරිසිදු වීමටත් ඔවුහු පුරුදු වී සිටියහ.එමෙන්ම අනෙක් අයට තමන්ගෙන් රෝගය බෝවීම වැලැක්වීමටත් නිවසට පිටස්තර පුද්ගලයන්ගේ පැමිණීම වැලැක්වීමටත් නිවසට ඇතුළු වන ස්ථානයේ කොහොඹ කොල අත්තක් එල්ලීමෙන් එම නිවසේ බෝ වන රෝගයක් ඇති බව පිටස්තර පුද්ගලයන් දැනුවත් කිරීමට ඔවුහු පුරුදු වී සිටියහ. එමගින් තමන් මෙන්ම අනුන් ගැනත් සිතමින් ඔවුහු ස්වයං නිරෝධායනයට ලක් වූහ. එය ලැජ්ජාවිය යුතු කාරණාවක්වත් තම ආත්ම ගරුත්වයට වන හානියක් ලෙසවත් අතීතයේ දී ඔවුහු නොසිතූහ. ඒ ආකාරයටම මෙම වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා රෝගය ආසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයන් මෙන්ම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් දින 14 ක ස්වයං නිරෝධායනයකට ලක් වන්නට යැයි කියන්නේ එබැවිනි.
     ආසාදිත පුද්ගලයෙකුගෙන් පිට වන කෙල බිඳිති සහ ස්‍රාවයන් පෘෂ්ඨ මත යම් වේලාවක් විනාශ නොවී රැදී පවතින බැවින් පොදු ස්ථාන වල ගැවසීම , ආසාදිත පුද්ගලයන් සමඟ උපකරණ හුවමාරු කර ගැනීම , මිනිසුන් බොහෝ රැස් වන ස්ථාන වලට යාම ආදිය සීමා කළ යුතුය. එබැවින් දෙදෙනකු අතර මීටරයක අවම පරතරයක් තබා ගන්නා ලෙස වර්තමානයේ අපට උපදෙස් දෙන්නේ ඒ නිසාය. අතීතයේ දී නම් අපේ සිංහලයා දෙදෙනෙකු අතරමග දී මුණ ගැසුණු විට ඔවුන් එකිනෙකා පිළිගත්තේ , ආචාර කළේ දෑත් එක් කොට ආයුබෝවන් කියායි. වර්තමානයේ මෙන් බටහිර ක්‍රමයට දෙදෙනා අතර අතට අත දීමේ පුරුදු ඔවුන් අතර නොවුණි. ඔවුන් දැන හෝ නොදැන පුරුදු වී සිටි මෙම යහපත් ආචාර ධර්ම හේතුවෙන් අතීතයේ මෙලෙස බෝවන රෝග වසංගත ලෙස ව්‍යාප්තිය බොහෝ දුරට සීමා විය.
     අතීතයේ දී අනුගමනය කළ මෙම පුරුදු වර්තමානය වන විට සමාජයෙන් ගිලිහී යන බවක් දැකිය හැකිය. විටෙක එය කාර්‍යබහුල ජීවිත නිසා විය හැකිය. තවත් විටෙක හණමිටි අදහස් යැයි කියමින් වර්තමානයට අනුව බටහිර ක්‍රමයට හැඩ ගැසෙන්නට මිනිසා දරන උත්සාහයක් නිසා විය හැකිය. ඒ කුමන හේතුවක් වුවද අවසානයේ අයහපත වන්නේ මිනිසාටමය. එබැවින් අතීතයේ පුරුදු පුහුණු වී සිටි ඒ ක්‍රම ශිල්ප අද වන විට වර්තමානයටත් ගැලපෙන බව අවිවාදාත්මක කරුණකි. එබැවින් අතීත සංස්කෘතියේ තිබූ එම පුරුදු වර්තමානයටත් ගැලපෙන ආකාරයට යොදා ගැනීමෙන් මෙම බෝ වන රෝග වලින් වැලකීමට අපට හැකි වනු නොඅනුමානය.
     අතීතයේ මෙවැනි යහපත් ක්‍රම පුරුදු පුහුණු වීමෙන් අතීත පුද්ගලයාට මෙම බෝවන රෝග වලින් වැලකී සිටීමට හැකියාව ලැබුණි. ඔවුහු එය කළේ දැනුවත්ව හෝ නොදැනුවත්ව විය හැක. නමුත් එය තමන්ටත් අනෙක් අයටත් යහපතක් වුණු අතර ඔවුන්ට ස්වභාවිකවම එම රෝග වලින් වැලකීමට හැකියාව ලැබුණි. එබැවින් අපට හැකි අයුරින් තමන් මෙන්ම අනන්‍යන් ගැනද සිතා මෙම කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි පමණ දායක වීම අප සියලු දෙනාගේම යුතුකමක් මෙන්ම වගකීමක් බව සිතට ගත යුතුය.



එස්. කේ. රංජනා ප්‍රියශානි
දන්ත වෛද්‍ය පීඨය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය

©️ විභව සාහිත්‍යය සංගමය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Comments

Post a Comment