මා⁣ නොදුටු සඳ | කෙටි කතාව




මා⁣ නොදුටු සඳ

ජීවිතේ විවිධාකාරයි....
මිනිස්සු හොයන්නෙ සතුට. සතුට එක එකා නිර්වචනය කරන්නෙ එක එක විදියට. සමහරු සල්ලි හොයනවා සමහරු බලය හොයනවා තවත් සමහරු ආදරේ හොයනවා. මම දන්න කාලෙ ඉඳලා එක එක දේවල් හෙවුවා. කිසිම දේක බරක් පතලක් නැතුව ඔහේ හිටපු කාලෙ මම තමයි පොර කියලා හිතාගෙන හිටපු කාලෙ මම හෙනම සතුටින් හිටියා. මොන හොඳ  වැඩේ කරන්න ගියත් මොන නසරානි වැඩේ කරන්න ගියත් එතන ගිහින් කරටිල්ලෙ වහන් එකෙක් මම. පොත බදාගෙන හිටියෙ නැති වුනත් දෙයියනේ කියලා වැඩ ටික ගානට කරගත්තා. ඔව් ඉතින් මට මං මාර පොරක්. ඒ නෙත්මි අපේ දහම් පාසලට එන දවස වෙනකම් තත්ත්වෙ. වැඩි සද්දයක් බද්දයක් නැති මේ මූන රවුම් කෙල්ල මගේ හිතේ ගිහින් නතර වුනේ කවදාකවත් දැනිලා නැති අමුතු තැනක. එදා ඉඳන් මං ඉරිදා වෙනකම් දවස් ගෙවාගත්තෙ හරිම අමාරුවෙන්. දහම් පාසැල් යන්න තරම් මං වෙන යන්න ආස තැනක් නැති වුනා. නෙත්මි ඉස්සරහා අමුතු චරිතයක් වගේ වෙන්න හිත කිවුවෙ මම තමයි එකා කියලා හිතේ තිබ්බ පොර මානසිකත්වෙ බිංදුවටම වැටිලා වාශ්ප වෙලා යද්දි.  වටින් පිටින් හොයලා බැලුවම නෙත්මි මේ පැත්තට ඇවිත් තියෙන්නෙ ලඟදි ගෙවල් මාරු කරලා. මම ඉතින් සතියට දෙතුන් පාරක් නෙත්මිලගෙ ගෙවල් ලඟිම් එහාටයි මෙහාටයි මෙහාටයි එහාටයි ගාටන්න ගත්තෙ නෙත්මිලගෙ ගෙදරට පොඩ්ඩක් එහා තිබ්බ මගෙ යාලුවෙක් වෙච්ච මිලාන්ලඟෙ ගෙදරට මාව දෛනික අමුත්තෙක් කරලා. හැමදාම හිතේ තිබ්බ ඕනිකම හැබෑ වුනේ නෙත්මිව ඔහොම දවසක මට මුනගැහෙද්දි. නෙත්මි එදා මා එක්ක කතා කලා හරියට අපි හොඳ යාලුවො වගේ. මං එදා ගෙදර ඇවිත් කෑවෙත් නෑ. පට්ට සතුටුයි. ඔය සිදුවීමෙන් පස්සෙ නෙත්මී මායි යාලුවො උනා. ඒ ලෙවල් වලට ක්ලාස් පටන් ගත්තෙ ඔය කාලෙ. මං ගණිත අංශයෙන් ඒ ලෙවල් කරන්න ක්ලාස් යන්න පටන් ගත්තා. දෙයියෝ මගේ මූන බැලුවා වගේ නෙත්මිත් ආවෙ මගේ ක්ලාස් එකටමයි. කාලෙ හරි වේගෙන් ගත වුනා. නෝට් එකක් ඉල්ලගන්නවා වගේ කතා බහක් ඇරෙන්න හායි බායි කිවුවා මිසක් වෙන දෙයක් කියාගන්න මට ශක්තියක් තිබ්බෙ නෑ. හැබැයි මම ඒ අවුරුදු ගානම ඒ රවුම් මූන දිහා බලන් හිටියා. හීන මැවුවා. ඒ ලෙවල් ඉවර වුනාට පස්සෙ මට නෙත්මිව හම්බුනේ නෑ. හොඳ ප්‍රතිඵලයක් එක්ක මම කැම්පස් තේරිලා තිබුනා. ජීවිතේ වෙනස් උනා. මට නෙත්මිව අමතක වුනේ නෑ. හැබැයි ඒ රවුම් මූන හොයන් යන එක මට මඟ ඇරුණා. කැම්පස් තේරුනාම නායකත්ව පුහුණු වැඩසටහනට යන්න ඕනි. ගෙදරින් පිට නවතින්න සිද්ද උනත් එහෙදි හම්බුන යාලුවො සෙට් එකත් එක්ක ඒ දවස් ගෙවුනා තේරුනේ නෑ. මාලන් , ගිහාන් නිමාශි , ශමින්දි , මම . අපි පස් දෙනාම එක වගේ පිස්සු නටන උන් පහක්. දවසක් ශමින්දිට විහිලුවක් කරන්න හිතාගෙන මම ශමින්දිට ආදරෙයි කිවුවා. ඉතුරු උන් ටිකත් මේක දැනුවත්වයි කලේ. ශමින්දි මට බෑ කියන්න මූන හදාගෙන අනේ සනුර අපි ගැලපෙන්නෑ කියනකොටම මට හිනාව පාලනය කරගන්න බැරුව හිනා ගියා. මේක විහිලුවක් බව ඔප්පු කරන්න ඉතුරු උන් ටිකටත් පාපොච්චාරණ කරන්න උනත් ඒ ඇස් රතු වුනු විහිලුවෙන් උනේ ශමින්දි මා එක්ක තරහ උන එක. නායකත්ව පුහුණුවත් ඉවර උනා. ඒකෙන් පස්සෙ අපි කට්ටිය ආයෙත් කතා කරගෙන හම්බුන දවසෙ මං ශමින්දිගෙන් සමාව ඉල්ලුවා. ඒ විතරක් නෙමේ ඕකෙන් මේකෙම් ශමින්දි මගේ හොඳම යාලුවා වෙච්ච එක. ඊටපස්සෙ මම කැම්පස් ආවා. ගෙවල් නුවර මම මේ කැම්පස් එක කොච්චරවත් දැකලා තිබ්බත් මාත් ඒකෙ කොටසක් කියලා දැනුනනම ඒක වෙනස්ම හැඟීමක්. ගඟෙන් මෙහා පැත්ත ඉංජිනේරු පීඨය. මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදය. මම මගේ සරසවි ජීවිතේ ඇතිවෙන්න වින්දා. ඒ අතරෙ ලියවෙච්ච ලස්සන කවි පේලියක් විදියට තමා මට නිරාශාවා පෙනුනෙ. සූටික්කි . ඒක තමා නිරාශාගෙ කාඩ් එක. මං සූටික්කිට බැඳුනෙ අතීතයේ මතක දිගේ. ඔව් ඒ නෙත්මි ගැන සිතුවිලි බැඳිච්ච හිතේ ඉඩ. සූටික්කිට තිබ්බෙ නෙත්මිගෙ වගේ රවුම් මූනක් ඒ වගේ හැඩරුව. ඉතින් මං ආයෙම ඒ රවුම් මූන පස්සෙන්. කවුරුත් නොදැන අපි දෙන්නා කතා කලා හුඟක් දේවල්. ශමින්දිට කනක් ඇහෙන්න තිබ්බෙන් නෑ. සූටික්කි ගැන මං කොච්චර කියෙවුවත් ශමින්දි කන රිදෙනවා කිවුවෙ නෑ . සූටිකිගෙ හිත දිනාගන්න මං ශමින්දිගෙන් උපදෙස් ගත්තෙ එකක් දෙකක් නෙමේ. නායකත්ව පුහුණුවෙ එකට හිටියට ශමින්දි තේරිලා තිබ්බෙ කොළඹ විද්‍යා පිඨෙට. සූටික්කි කතෝලික. එයා නත්තලට මට කේක් ගෙනත් දුන්නා හැමෝටම රහසින්. මාත් සිංහල අලුත් අවුරුද්දට කොකිස් පාර්සලයක් අරන් සූටික්කිට දෙන්න ගියේ සූටික්කි එක්ක එක තප්පරේකට උනත් තනි වෙන්න හිතේ තියන කැමැත්තට. ඒ උනාට ඒ තප්පරේ මහ බෝම්බයක් වෙලා මගේ හීන පාමුලෙන් පිපිරුනේ මම නොහිතපු විදියට අපි දෙන්නාගෙ අමුතු මිතුදම මුලු බැච් එකේම පතුරවලා. ඒ සිදුවීමත් එක්ක සූටික්කි මගෙන් දුරස් වුනේ මම හිතපු නැති විදියට. ඒ වුනාට මට මගේ හිතින් සූටික්කිව අයින් කරගන්න බැරිම තැන මම සූටික්කිට ගිහින් ආදරෙයි කියන කොට මං පරක්කු වැඩී. ශමින්දි මගේ දුක ඇහුව. රෑ එලි වෙනකම් මගේ හිත හැදුවා. මගේ කවි පේලිය කවියක් උනේ නැති දුක මං දියකරගන්නවත් එක්කම වගේ අර රවුම් මූන ආයෙමත් මගේ ඉස්සරහා. නෙත්මි!

නෙත්මි! ලා නිල් පාට අහස වගේ සුදු මල් වැටිච්ව සාරියක් ඇඳන්. දෙයියනේ නෙත්මි මට උබෙන් මිදීමක්ම නැද්ද? මම මගෙන්මයි ඇහුවෙ.  මම ඇස් අයාගෙන බලන් ඉද්දි නෙත්මි මගේ ලඟට ආවා. ඉස්සරම දවසක වගේ අවුරුදු ගානකට පස්සෙ නෙත්මි ආයෙත් කතා කලා. ඒ ලස්සන ඇස් දෙකෙන් මගෙ හිතේ අහු මුල්ලක් නෑරම පීරලා නෙත්මි බස් එකේ නැගලා යන්න ගියා. ඊට කලින් මම ෆෝන් නම්බර් එක නම් ඉල්ලගත්තා. මම ගෙදර ඇවිත් නෙත්මිට කෝල් එකක් ගත්තෙ තවත් හංගගන්න බැරි තරම් හැඟිම් ගොඩක් හිත උඩ තියාගෙන ආදරෙයි කියන්නම බලාගෙන. ඒත් ඒ කෝල් එක ආන්සර් කලේ පිරිමි කෙනෙක්. ටික වෙලාවකින් නෙත්මිට දුන්නත් නෙත්මි හෙලෝ කියලා කෝල් එක කට් කලා. මගේ පපුව රිදුනෙ නෑ කිවුවොත් බොරු. එදා රෑ මං ශමින්දි එක්ක එලි වෙන්න කිට්ටු වෙනකම්ම කතා කලා. මගේ හිත හදන්න ශමින්දිටත් තියෙන්නෙ පුදුම හැකියාවක්. හරියට ඒ වචන බෙහෙත් වගේ. ශමින්දිගෙ පස්සෙන් කොල්ලෙක් ආවා. කොළඹ කැම්පස් එකේම කොල්ලෙක්. එදා රෑ ශමින්දි මා එක්ක ඔය ගැන කතා කරලා මගෙන් පුදුම ප්‍රශ්නයක් ඇහුවා.
" මං කොල්ලෙක් එක්ක යාලු උනොත් ඔයාට දුක හිතෙයිද සනූ? "
" පිස්සද බං " මං හිනා උනා. ඒ උනාට ඒ හිනාවට යටින් මගේ හිතට විදුලි සැරයක් වැදුනා වගේ වේදනාවක්ද බයක්ද කියාලා තෝරගන්න බැරි හැඟීමක්. ඇත්තටම ශමින්දි වෙන හිතක් ගාව නතර වෙච්ච දවසට මට ශමින්දි නැතුව ඉන්න පුලුවන් ද? ඒක හිත හිතම මට නින්ද ගිහින් තිබුනා. උදේ නැගිටලා ෆෝන් එක බැලුවම නෙත්මිගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනෙ ඊයෙ කෝල් එක ගත්තෙ අයියා , කෝල් එක කට් කලේ ගෙදර අය හිටපු නිසා කියලා. මේක කොල එලියක් උනත් මට ආයෙ නෙත්මිට කතා කරන්න හිත හදාගන්න බැරිවුනා. ශමින්දිගෙ ඒ පුංචි ප්‍රශ්නේ මාව කොමා එකකින් ඇහැරෙව්වා වගේ හැඟීමක් මට දැනුනේ. නෙත්මිවවත් , සූටික්කිවවත් මට නොලැබුනොත් ජීවිතේ ගෙවාගන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක් නොතිබ්බ මට ශමින්දි ඉස්සරහා ඒ ප්‍රශ්නෙට මූන දෙන්න වෙලා තිබ්බා. ඉතින් ඇත්තටම ආදරේ කියන දේ දැනෙන්නෙ මොන වගේද කියලා මං තේරුම් ගත්තේ ඊට පස්සෙ. අද ශමින්දි මායි ගලවගන්න බැරි බැඳීමක හිර වෙලා අසීමිතව ආදරේ කරනවා. අවසානයෙදී සතුට තියෙන්නෙ සැනසීම ලඟ කියලා මම තේරුම් අරගත්තා. ලබන මාසෙ අපේ වෙඩින් එක. ඔලුවෙ වැඩ ගොඩයි.හැබැයි හිත කලබල නෑ. මොකද හිත් කලබලේට බේත අද මගේම විතරයි.

ලවංගා ගමගේ

කළමණාකරණ පීඨයපේරාදෙණිය විශ්වවිද්‍යාලය

❤️ විභව සාහිත්‍යය සංගමය
❤️ පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Comments