ඉස්තිෆාගේ පියාද සාමාන්‍යයෙන් අප අසා ඇති දැක ඇති සාම්ප්‍රදායික මුස්ලිම් පියෙකුට වඩා හාත්පසින්ම වෙනස් අයෙකු විය.ඉතා විවෘත මනසක් තිබූ ඔහු නිතරම මඳ සිනාවකින් සැරසී සිටියේය.ඒ කාලයේ අපත් සමඟ එක වයසේ පසුවූ මුස්ලිම් දැරියන්, හත අට වසර පහු වන විටම පාසල් ඒම එක්වරම නතර කරති.පසුව අසන්නට ලැබෙණුයේ ඔවුන් ඔවුන්ගේ වයස මෙන් දෙතුන් ගුණයක් වැඩිමහල් මිනිසුන් සමඟ විවාහ වූ බවයී.නමුත් ඉස්තිෆාගේ පියා ඊට හාත්පසින්ම වෙනස් මත දැරුවෙකි.දිනක් අප පාසලේ පැවැති භක්ති ගී ගායන වැඩසටහනක් පිළිබඳව ඉස්තිෆා ඔහුගේ පියාට පවසමින් සිටියාය.ඇය තමාත් යෙහෙළියන් සමඟ භක්ති ගීත ගායනා කළ බවත්, නමුත් ඇගේ සමහර මුස්ලිම් යෙහෙළියන් ඒ අවස්ථාවේ අහල පහලවත් නොසිට ඉවත් වූ බවත් කියා සිටි අවස්ථාවේ "ළමයි උනාම හැමදේම කරන්න ඕනේ.එයාලා නොගියට කමක් නෑ.ඔයා යන්න." යැයි කියූ ආකාරය මට අද වාගේම මතකයට නඟා ගත හැක. මගේ එක් උපන්දිනයක්ද එම නිවසේදී සමරන්නට යෙදුණි.මා ඉස්තිෆාගෙන් තිලිණයක්ද ලදිමි.ඇය පැවසුවේ එය ඇගේ පියා විසින් ගෙන ආ බවයි.එය විවෘත කල මා දුටුවේ අලුත්ම මෝස්‍තරයේ අත් පලඳනා දෙකකි.අපේ තාත්තාට තෑග්ගක් ගේන්නට කීවා නම් එක්සර්සයිස් පොත් කීපයකුත් පෑන් පැන්සල් කීපයකුත් රැගෙන එනවා නොඅනුමානය.ඒ අතින් ඇගේ පියා සිංහල පියවරුන්ටත් වඩා තම දරුවන්ගේ සිතුම් පැතුම් හඳුනන ආදරණීය පියෙකි.
ඉස්තිෆාගේ පියාගේ සහෝදරයෙකුද ඒ අසලම ජීවත් වේ.එම නිවසේද අපගේ වයසේම දැරියකි.ඇය අස්zනා ය.අප වාර විභාගයට පාඩම් කිරීමට යැයි කියා එම නිවසට ගිය දිනයද මගෙ මතකයට නැගේ.අස්zනාගේ අක්කා එකල උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරන අප පාසලේම ඉගෙනුම ලබන අයෙක් විය.අප පාඩම් කරනවා යැයි කියා කාමරයකට වී පච හලමින් සිටින අතර ඇය පැමිණ අපට ඉංග්‍රීසි ඉගැන්වූ ආකාරය අදටත් මගේ මතකයට නැගේ. සෑම ව්‍යාකරණ වර්ගයක් අවසානයේම එම ව්‍යාකරණ වර්ගය යෙදුණු වාක්‍යයක් කීමට අපට සිදු විය.ඒ අප එය හොඳින් ඉගෙන ගත්තාදැයි ඇයට තහවුරු කරගැනීමටය.අප අහස පොලව ගැටලමින් නානාප්‍රකාර වාක්‍ය තැනූ ආකාරය සිහි වන විට අදටත් මුවඟට සිනාවක් නැගෙයි.
ඉංග්‍රීසි පාඩම අවසානයේ රසවත් රාත්‍රී ආහාර වේලකි.රසවත් කෑම බීම පිරුණු විශාල දිග මේසයක වටේ ඉඳගන්නා අපට, අස්zනාගේ මව කාගැනීමටවත් නොහැකි තරම් කෑම බෙදන්නීය.අවසානයේ ඇගෙන් බේරීමට පිඟන් උස්සාගෙන මේසය වටා දිව ගිය අවස්ථාද නැතුවා නොවේ.
ඇය ඉස්තිෆාටත් අස්zනාටත් ඔවුන්ටම ආවේණික වූ ආහාර බෙදන අතරවාරයේ ඔයාලා මේවා කන්නෑනේ කියා අපටම වෙනම සෑදූ ආහාර බෙදන්නීය.ඒ ආදරයට මම අදටත් බොහෝසෙයින් ආදරය කරමි.සහජීවනය යැයි කියා බර වචන වලින් කියන්නා වූත් ආදරය කියා සරලව කිව හැකි වූත් ඒ හැඟීමට මම අදටත් එදා තරමටම ප්‍රිය කරමි.
කතෝලික ආගම අදහන තරුණයෙකුගේ ආදරණීය පෙම්වතිය වී සිටින මා බෞද්ධ - කතෝලික සහජීවනය උපරිමයෙන්ම ව්ඳින්නෙමි.ඔහු කිසි දිනක මා ඔහුගේ සංස්කෘතියට නම්මා ගැනීමට උත්සාහ කර නැත.මටද ඔහු මගේ සංස්කෘතියට නම්මා ගැනීමට අවශ්‍ය නැත.පැහැදිලිවම අප බොහෝ වෙනස්කම් සහිත පරිසර දෙකක හැදී වැඩුණු දෙදෙනෙකි.නමුත් ඒ වෙනස්කම් අපේ ආදරයට කිසි දිනක බාධාවක් වී නැත.වෙනදාට කම්මැලිකමේ ගෙවී යන නත්තල මට දැන් අවුරුද්දේ විශේෂම දිනයක් වී හමාරය.ඔහුටද දැන් සිංහල හින්දු අලුත් අවුරුද්දට කරන්නට වැඩ ගොඩකි.අවුරුදු උදාව කීයට යෙදී තිබුණත් වෙනදා මෙන් හොඳට පෙරවන් නිදාගැනීමට දැන් ඔහුට ඉඩ නොලැබෙයි.
ඉදින් අපට ඒ සහජීවනය මුස්ලිම් මිතුරන් සමඟද විඳින්නට ඇත්නම්? අප කාලයක් ඒ සහජීවනය ඔවුන් සමඟ ව්ඳි මිනිසුන් වෙමු.අප මුස්ලිම් කඩේ පැතලි පිඟානේ බුරියානී රස බැලූවෝ වෙමු.දමිළ කඩ වල හොදි බාල්දි සමඟ ඔට්ටු වූවෝ වෙමු.නමුත් කවදා හෝ කවුරුන් හෝ පැමිණ අපට මුස්ලිම් කඩ වල වඳ බෙහෙත් දානවා යැයි කීවේය.මුස්ලිම් ඇඳුම් කඩවල ඇඳුම් අඳින්නට හොඳ නැතැයි කීවේය.තව බොහෝ කතා කීවේය. මමද ඒවා විශ්වාස කර මුස්ලිම් මිනිසුන්ට වෛර කරන්නට පටන් ගත් බහුතරයකගෙන් එක් අයෙක් වෙමි.මා වැරදිද නිවැරදිද කියා මා දන්නේ නැත.නමුත්,ඉස්තිෆා සමඟ ගෙවූ ඒ අතීතයට යන්නට අදටත් මා ආසා කරමි.මුස්ලිම් කඩෙ පැතලි පිඟානේ කන්නට මා ආසා කරමි.නමුත් කවුරුන් හෝ අප වෙන් කර බිඳලිය නොහැකි පවුරක් තනා ඇත.මේ පවුර තැනූවෝ කවුරුන්ද ? කාගේ උවමනාවටද ?මේ පවුරෙන් ප්‍රයෝජනය ඇත්තේ කා හටද?අවසානයේ මේ මහා පවුර නිසා දුක් ව්ඳින්නේ කවුරුන්ද ?
-සදුනි තාරකා
(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)
Comments
Post a Comment