සතුට


                 සතුට යනු විස්මිත සිරුරේ අපූර්ව වූ ක්‍රියාවලියක් විය හැකිය. දාර්ශනික අර්ථය ගත්කල සියල්ල අභිබවමින් සතුට යන්න ශුන්‍යත්වයක් හරහා විග්‍රහ කළ හැකිය. නොමැති නම් මිනිසා භාෂාව වරදවා අර්ථකථනය කිරීම හේතුවෙන් ගොඩනැගී ඇති දාර්ශනික ගැටළුවක් යැයි විග්‍රහ කරමින් අපව අතරමං කළ හැක. කෙසේවෙතත් සතුට වූ කලී විස්තර කිරීමට අපහසු සංකීර්ණ මාතෘකාවකි. මාතෘකාව දුටු විටම මෙය කුමක් සම්බන්ධව ද යන්න පිළිබඳ දෙගිඩියාවෙන් ඔබ අතරමං විය හැක. මා කියන්නට යන්නේ කාටත් පොදු වූ කවුරුත් ජීවිතය තුළ අත්දැක ඇති සාමාන්‍ය මෙන්ම වටිනා සත්ත්ව මනෝභාවයක් සම්බන්ධවයි. මා මෙයට මානව මනෝභාවයක් යැයි අර්ථකථනය නොකරන්නේ මිනිසුන් පමණක් නොව අනෙකුත් සෑම සත්ත්වයෙකුටම පාහේ පොදු විය හැකි මනෝභාවයක්ය යන පදනමේ සිටය. “ සතුට ” යන්න විවිධ කෝණයන් හරහා අර්ථකථනය කළ හැක. එය ආගමික, ආධ්‍යාත්මික, සමාජ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා දාර්ශනික යන පසුබිම් හරහා විග්‍රහ කළ හැකි සංකීර්ණ මනෝභාවයක් යැයි සැලකිය හැකි ය. මෙකී මනෝභාවය අයත් වන්නේ චිත්තවේග යටතට ය. චිත්තවේගයක් වු කලී කායික උද්දීපනයක්, සවිඥානික අත්දැකීමක් හා චර්යාත්මක ප්‍රකාශනයක් යන ත්‍රිත්වයෙහි ඒකාත්මිකතාවය මත ඇතිවන්නා වූ හැඟීමක් හෝ ආවේදනයක් යන්න මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම වේ. ඇතැම් විට සතුට යන්න ආගමික අර්ථයෙන් ගත් කල ආධ්‍යාත්මික අරමුණ පෙරදැරි කොටගත්තක් විය යුතු නමුත් කාමසුඛල්‍ය අරමුණු කොටගත්තක් නොවිය යුතුය. ජීව විද්‍යාත්මක අර්ථයෙන් ගත්කල උක්ත අර්ථකථනයන්ගෙන් වියුක්ත වූ දේහ ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වයක් යැයි අර්ථකථනය කළ හැකි ය. මා උත්සාහ දරන්නේ “සතුට ” යන්න විවිධ වූ මිනිස් ජීවිත හා ගැලපෙන ආකාරය විග්‍රහ කිරීමටත්, “සතුට” තේරුම් නොගත්තවුන් හට තේරුම් ගැනීමට හේතුවක් සොයාදීමටත් ය. සෑම දෙනෙකුටම පාහේ “goals” ඇත. එනම් තම ජීවිතය තුල වැදගත් යැයිද, තමාට සතුටක් යැයිද ලැයිස්තු කොටගත් අරමුණු ඇත. ඒවා සැබෑ කරගැනීම මත මිනිසා ලබන්නේ සතුටකි. සතුට ඉලක්ක කරගනිමින් බොහෝදෙනා බොහෝ දේ සිදු කරයි. කෙනෙකු තවකෙකුට උදව් කරමින් සතුටු වන අතර අයෙක් තවකෙකු රිදවීම හරහා කුරිරු සතුටක් ලැබිය හැක. සතුට යන්න සර්ව සාධාරණ දෙයක්ය යන අර්ථයෙන් ගන්නේ නම් දෙවැනි සිද්ධිය වුවද සාධාරණීකරණය කිරීමට අපට සිදුවේ. නමුත් කියනා තරම් මිනිසා බුද්ධිමත් නම් උපයෝගීතාවය හා ගැලපීම මත "සතුට" යන්නට වටිනාකමක් දීමට ඔබට හැකිවිය යුතුය.

          මනස පරිණත නොවූ කුඩා දරුවකු ගත්කල සතුට යන්න ඔහුට බලපාන්නේ ඔහුගේ කායික අවශ්‍යතාවන් හා අනෙකුත් ඕනෑ එපාකම් නිසි ලෙස සංතෘප්ත වීම මත ඔහුට දැනෙන්නා වූ සැහැල්ලූ බව හරහාය. කුඩා දරුවකු සතුට අත්දකින ආකාරය සරලව විග්‍රහ කල හැක්කේ ඔහු තුල සංකීර්ණ මානසික හැඟීම් ජනිත කිරීමට තරම් ඔහුගේ මානසිකත්වය දියුණු වී නොමැතිකම නිසා විය හැකි ය. එසේ නම් සතුට යන්න කෙරෙහි මානසික අංශය වඩාත් බලපාන බවට ඉන් යම් අදහසක් ලබාගත හැක.

             සතුට සංකීර්ණ මෙන්ම විවිධ වන්නේ මානසික වර්ධනයත්, කායික වර්ධනයත් ක්‍රමයෙන් සකස් වීමත් සමඟය. මිනිසාගේ අරමුණු පදනම් කොටගනිමින් ඔහු සතුටු වන ආකාරය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්විය හැක. අයෙක් ඉහල ආකාරයට සතුට භුක්තිවිඳින අතර තවත් අයෙක් ප්‍රාථමික ආකාරයට සතුට අත්දකිනා වග මිනිසා විසින් ගොඩනගාගන්නා ලද පුහු සමාජගත මතයකි. සතුට එලෙස කොටස් කිරීමවත්, තත්ත්වයන්හිලා දැක්වීමවත් නොවිය යුතුය. එනම් සතුට සමාජ පංති නිර්මාණයෙහිලා සාධකයක් කරගත නොයුතුය.

              අනෙක් කරුණ නම් සතුට සංසන්දනයයි. තමන් සතුටු වන ආකාරය හා තවත් අයෙකු සතුටු වන ආකාරය දෙස බලා එයින් සංසන්දනාත්මක අර්ථකථනයක් ගොඩනැගීම සාධාරණ නැත. කෙනෙකු සතුටු වන්නා වූ ආකාරය තවත් කෙනෙකුට "පිස්සුවක්" ලෙස පෙනිය හැක. නමුත් මතක තබාගත යුත්තේ තවත් කෙනෙකුගේ සතුට පහත්කොට තැකීමට කවරෙකුටවත් අයිතියක් නොමැති බවයි.

             සතුට අයිති මිනිස් ආධ්‍යාත්මයට ය. සතුට ඇති තැන සිනහව අවැසිම නොවේ. එසේම ලෝකයට පෙනෙන්නට සතුටු විය යුතුය, තමා සතුටු වන බව ලෝකයට පෙන්විය යුතුය යන අදහසද බොල් සිතුවිල්ලක් පමණි. සතුට ප්‍රදර්ශන භාණ්ඩයක් නොවන වග බොහෝ දෙනෙකුට තේරුම්ගත නොහැකි සේය.

  ඇතැම්හු තම ජීවිතයට යම් යම් දේ ළඟා කරගනිමින් සතුටු විය හැක. තවත් සමහරෙක් අනුන් වෙනුවෙන් තම ජීවිතය කැපකොට සතුටු විය හැක. බහුතරය තෘප්තිමත් වෙමින් සතුට ලබන අතර අතලොස්සක් දෙනා දුක් විඳීම, අත්හැරීම තුල සතුටක් ලබයි. එබැවින් "සතුට" පටු ක්ෂේත්‍රයක් තුලට ගත නොහැකි බවට තවත් නිදසුන් අවැසි නැත.

          තවත් කෙනෙකු දකින ලෙසට අයෙක් බොලඳ ලෙස සතුටු වනවා යැයි සිතිය හැක. එයින් අදාල පුද්ගලයා යම් තෘප්තියක් හෝ සහනයක් ලබයි නම් එය වයසට හෝ තත්වයට නොගැලපෙනවා යැයි විවේචනය කිරීමට කාටත් අයිතියක් නැත. මක්නිසාදයත් ඔහුට තම මනෝභාවය විඳීමට තරම් ස්වාධීනත්වයක් ස්වභාවික සැකැස්ම මතම සපයා ඇති හෙයිනි. එහෙයින් එය බොලඳ ගණයේ සතුටක් වග නිශ්චය කිරීමට නොහැක. ඔහුගේ මානසික තත්වය මත එය සාධාරණීකරණය කල හැක.

       “සතුට සල්ලි වලට ගත නොහැක." කීවේ ඉස්සරය. පුහු මාන්නයෙන් ඔළුව උදුම්මවාගත් බොහෝදෙනා දැන් දැන් සතුට ගන්නේ සල්ලි වලට ය. සතුට උස්පහත් යැයි මනින්නේ එවැන්නවුන්ය. සතුට ඒකාකාරී වියයුතු යැයි සිතීම අඥානකමකි. සතුට විවිධ වූ තරමට වටිනාකම වැඩිය. එසේ නම් අප බුද්ධිමත් ලෙස "සතුට" දැකිය යුතුය.

රසාංගනී මදුෂිකා සෙනවිරත්න

(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)

Comments