කෙටිම කෙටි කතාවක්

ඔහුද මාද විහාර මහා දේවි උද්‍යානයේ අපට පුරුදු බංකුවට ආවේ එකටම වගේය. නමුත් වෙන වෙනමය. මා ඔහුව දැක්කේ හරියටම සති දෙකකට පසුවය. ඒ මූන දකින්නට පුදුමාකාර ආසාවකින් මගේ හිත මුරන්ඩු වී මට වද දි දී තිබුනි. අවසානයේදී මා පරදා මගේ හිත ජයගති බැවින් ඔහුද මා ද මේ මොහොතේ අපිට පුරුදු මේ බංකුවේ එකිනෙකාට ලං නොවීමට වග බලාගෙන වාඩි වී හිදියෙමු. එකිනෙකාට බෙහෙවින් ආදරය කරමින් හීනයක් වගේ ලස්සන දවස් කීපයක් අපි ගෙවීමු. හැමදේම අසෙන පහසකින් පිච්චී ගියා සේ මට දැනෙයි. අදට සති දෙකකි. නුඹත් මාත් කඳුලු හෙලා සිනහා මවා රැකගත් ආදරයේ නූල් පොට නුඹ අතහැර දමා අදට සති දෙකකි.  මේ සති දෙකට මගේ ඇස් දෙකෙන් ගැලූ කදුලු කෙතරම් ද යන්න දන්නේ මගේ ඇහි දාරම පමනි. බිඳී ගිය හීන නටඹුන් මේ හිතින් පහ කරන්නට හෙලු සුසුම් තව මදිය. මා නගන ව්‍යාජ සිනහවට පුලුවන්නම් උඩ පැන පැන මට ඔච්චමට සිනාසෙනු ඇත. පිච්චෙමින් හිඳි මට සරසවි ලියුම ගෙන ආවේ එසේ මෙසේ සැනසුමක් නම් නොවේ. මතක පැල්ලම් පිරිච්ච මේ නපුරු කොළඹ  ඔහුත් මමත් මග අතහැරපු සිනහ, කඳුලු වලින් තියුණු පිහි තුඩු සාදාගෙන ඒවායින මගේ හදවත කෑලි කෑලි වලට නැවත නැවතත් දිනෙන් දින කැපුම් ඇති කරමින් හිදිද්දී සරසවි අධ්‍යාපනය සඳහා නුවර යාමට පැමිනීම මට දැනුනේ වියලි කතරක අතරමං උනු මිනිසෙකු ක්ශේම භූමියකට පිවිසීමකි ලබන්නා වූ වැනි මහා සැනසීමකි.
අතැර යන්නට බැරි තරම් සුන්දර දේවල් වලට වඩා මේ කොළඹ හිඳ මම ගොතපු මතකයන් වේදනාකාරීය. පාරක් තොටක් නොදන්නා නුවර මගෙ දිහා බලාගෙන සැනසීම තෑගි දෙන්න බලා හිදිනවා යැයි මට සිතෙයි. නොදන්නා නුවර නොදන්නා මිනිස්සු අතර මට රිදවන මතකයන් නැත. වෙනදා මෙන් තුරුල් කර ඒ සුවඳ මැදින් " සැනසීමයි " කියන්න ඔහු නැත. හිඳිනු ඇත. නමුත් මට හිමි නැත. හිමිකම දුන්න්දේද ඔහුමය. යලි අරගත්තේද ඔහුමය. ඔහු සිටියානම් මා නුවර යාම වේදනාකාරී වනු ඇත. සැනසීම හොයාගෙන නොව සැනසීම කොළඹ දමා යාමට බැරිව ලතැවෙනු ඇත. නමුත් දැන් සියල්ල වෙනස්‍ ය.
මේ මතක පිරිච්ච පුංචි නහරයට සමු දීමට මම සූදානමින් හිඳිමි. හිත මත සදාකාලිකවම සිත්තම් වුනු ඒ දුඹුරු ඇස් දෙක සහ සොඳුරු සිනහව අවසාන වරට පාට ගෑමට මට අවැසි විය.
"ඇයි මට එන්න කිවුවෙ? "
"මට බලන්න ඕනි වුනා"
බලන්නට අවැසි වුවද බලන්නට තරම් හිත ශක්තිමත් නැත. මට ලෝබය. මල් පෙති වගේ ඔය ඇස් දෙක මට ලං කර බලන් ඉන්නට ජිවිතේ පුරාවට හීනයක් ලිවුවෙමි. ඔහු සිනාසෙයි . හේතුවක් නැතුවම. ඒ සිනහව සොඳුරුය.
"මොකද ඔහොම බලන්නෙ? "
" මං ඔයාට ආදරේ කරන්න කලින් මට ඔයාව මේ තරම් ලස්සනට පෙනුනේ නෑ"
මා ඇත්තම කියුවෙමි. ඔහුට මා මේ තරම් පෙම් කිරීමට පෙර ඔය දෑස වත් සිනහව වත් මේ තරම් සොඳුරු ලෙස මා දුටුවේ නැත. ඔහුත් නොදත් ඔහුගේ ළමා කාලයේ චායාරූපයක් මගේ දුරකථනයේ පිංතූර ගැලරියේ සැගවී තිබුනේය. ඒ පිටුපස සැඟවී තිබූ හීන හොදටෝම බර වැඩිය.
 "එතකොට දැන් මං ලස්සනද? "
 ඔහු නැවත සිනාසෙයි. කිසිවක් නොවූ ගානට..
මට දුකය. මට ලෝබය. මට ඔහුව අයිතිකරගැනීමේ අවශ්‍යතාවක් , ආසාවක් , හීනයක් දැන් නොමැත. හිත හොදටෝම බිඳී ඇත. එහෙනම් ඇයි මේ? මා නොදනිමි. මා දවසකදී ලියා දුන් සේම බිඳුණු හිත් පතුලකින් වුවද මා ඔහුට ප්‍රේම කරමින් හිඳිමි. මා බංකුවේ පිටුපස ඇති යකඩ වැටට බරවී කම්මුලක් ඒ මතට තද කරගතිමි. ඔහුගේ උරහිස වෙනුවට මේ යකඩ වැට අද. පහු ගිය සති දෙක පුරාවට ඔහුව  දැක ගන්න රන්ඩු කරපු මගේ ඇස් ඔහු ලඟ ඉදිද්දී වෙනතක්ම බැලීමට පොරකයි..
මින පෙර දවසකදී ඔහු මාව ඇතැර දැමූ වග මට අමතක නැත. එදා ඉරි තලපු හදවතින් මා ඔහුට යලිඳු ප්‍රේම කෙරුවෙමි. හදවත යලි සකසනු බැරි තරමට දුහුවිලි මෙන් කුඩා කැබලි වලට බිඳී ගොස්‍ ය.
 "දෙවෙනි අවස්තාවකට පුලුවන් බැදීමක් ශක්තිමත් කරන්න. කලින් තිබ්බටත් වඩා සුන්දර කරන්න. ඒ වගේම දෙවෙන් අවස්තාවකට පුලුවන්..  ඒ අවස්තාව දුන්න කෙනාව.. විනාශ.. කරලා.. දා..න්..න.. "
 අන්තිම වචන ටික කියාගන්නට තරම් එකතු කරගත් ශක්තිය මදි වී මගෙ කටහඬ බිඳී ගියේය. වැහි බින්දු තරම් ලොකු කඳුලු බින්දු මගේ ලොකු ඇස් වලින් බිමට පැන්නේය
"මොනවද ඕනි? " ඔහු මගෙන් ඇසුවේය. පිලිතුරක් දීමට වචන පිට කිරීමට තරම් ශක්තියක් තිබුනේ නැත. හඬ බිඳී ගොස් ඇත. මා මොහොතක් හිඳියෙමි.
"මොනවත් නෑ තව පැයක් දෙකක් මෙහෙම ඉඳලා..  ය..න්න..ම ය..න්..න.. "
මා පැවසුවේ හඩමිනි. පුලුවන්නම් ටිශූ කොලය මා මගේ ඇස් දෙක ඇතුලට ඔබනු ඇත. ඒ තරම් කඳුලු නවතා ගැනීමට මට අවැසි විය. කඳුලුද ඇස් දෙකද ඕනෑවටත් වඩා මුරන්ඩුය.

"මාව දාලා යන්න සාදාරන හේතුවක් වත් තිබ්බා නම්? "
"අපි ගැලපෙන්නෑ"
ඔහු මට මතක් කර දුන්නේය. ඔව් මට මතකය. ඔබ කිවු සේම ඔබට අවශ්‍ය ඔබව පාලනය කරනා ගැහැනු ලමයෙකුය. මා එසේ නැත. මා බලාපොරොත්තු වන පිරිමි පෞරුෂයතවය එසේ නැත. ආදරය නාස් ලනුවක් විය යුතු නැත. ගෞරවය , නිදහස , ආරක්ෂාව සහ විශ්වාසය මේ හැමදේම ආදරයේ කොටස් ලෙස දකිමි. ඔබ පෙර දවසකදී කියු සෙම මා සංකීර්ණ ඇත. අපි නොගැලපෙනු ඇත.
බංකුවට අවු රැල්ලක් වැටෙයි. වේලාව හතරාමාරට වගේය . උද්‍යානයේ විදුලි පහන් දල්වන්නේ හයයි තිහට කිට්ටු වීය. මා ඒ විදුලි පහන් වල ආලෝකයට ආශා කරන බව ඔහු දනී. වෙනදාට නම් මා හිඳින්නේ විදුලි පහන් දල්වන තුරුය.
 " මේ අවුව පායන්නෙ නැත්නම් හොඳයි"
"ඇයි? "
"මේ අවුව පායන්නෙ නෑ කියන්නෙ රෑ වෙන්නෑ. රෑ වෙන්නෙ නෑ කියන්නෙ අපි මෙතන තව ඉන්නවා "
"එතකොට?"
" එතකොට මුකුත් නෑ ඉතිම්. මම මෙතන මෙහෙම ඉඳී . ඔයා ඔතන ඔහොම ඉඳී. මම අඬයි. ඔයත් නපුරු කතා කියයි. මමත් තද පන්ඩිත කතා කියයි."
ඔහු සිනාසෙයි.
"ඇයි?"
" නෑ ඔයා දන්නවා නේද ඔයා පන්ඩිත කතා කියනවා කියලා"
ඔහුද මාද යලිත් එකට සිනාසීමු..
එක මොහොතකට..
මේ අවසාන වර බව දැන දැනත් මට ඔහු ලඟදී හැමදේම අමතක වෙයි. ඔහු මට කල නපුරුකම් මෙන්ම මේ අවසන් වර බවද.. එය මතක් වන හැම තප්පරයකදීම මගෙ කඳුලු අලුත් වන්නේ මටත් නොදැනීමය. ඒ පාර ඔහු මගේ මුහුනට හුලං පිඹීමට පටන් ගත්තේය. මා නොදන්නා සේ අහක බලාගෙන සිටියෙමි. ඔහු සිනාසෙමින් එයම කරයි. මටද සිනහා එයි. තද කරගෙන හිඳියෙමි.  මේ ඔය දඟකාරකම් අද්දර හුරතල් වුනු අප නොවය.
"ආහ්!"
ඔහු එකවර බෙල්ල අල්ලා ගත්තේය. බෙල්ල කරකව කරකව හුලං පිඹින්නට ගොස් රිදෙනට ඇත.
"ඇයි? "
මා ඇසුවේ ඔහුගේ හිසට අත තියාය. මට ඔහුත් සමඟ තිබූ ඔරොප්පුව අමතක විය.
"තාමත්? " ඔහු මගේ දෙස බලා අසයි. ඒ ඇස් වල තිබුනේ ආදරය නොවේද?
"මොනාද?"
" මුකුත් නෑ ".
මම දනිමි. ඔව්!  තාමත්. රිදෙද්දී මටත් රිදෙනවා. කවදා වෙනකම් දැයි නොදනිමි. නමුත් තාමත් එසේ බව දනිමි.
මේ කඳුලු! ආයෙමත්..
"ඔය ආයෙ.. මේක කරන්න බෑ . කෝ දෙන්න මෙහෙට ටිශූ එක. "
ඔහු මගේ කඳුලු පිසී.
"දැන් අඬපන්කො බලන්න"
ඒ කියා අවසන් වීමටත් පෙරම ආයෙමත් ලොකු කඳුලු බින්දවක්. ඔහු ආයෙමත් පිසී. ඔහු කඳුලු පිසින්නට පිසින්නට මගේ කඳුලු උනයි. මේ පැයෙන් දෙකෙන් පසු මේ කඳුලු සෑහෙන කාලයක් ගලනු ඇත. කඳුලු පිසින්නට ඔහු නැතිය.
"කොහෙන්ද අප්පා ඔච්චර කඳුලු ? "
පපුව මත ගැහෙන වේදනාව ඔහු දුටුවේ නම් මේ කඳුලු මදි කියනු ඇති.
"ඇස් ලොකු නිසා ගොඩක් කඳුලු එනවද කොහෙද ? "
මෝඩයා කියන කතා වලට මට සිනහය. මම හඬමින් සිනාසුනෙමි.
අව්ව පෑව්වේය. අඳුර වැටුනේය. මා ඔහුගේ උකුලට හිස තබා ගතිමි. අවසාන වතාවට..
ඔහු මගේ හිස අත ගෑවේය. මම හැඬුවෙමි. කඳුලු පැල්ලම් ඔහුගේ ඇඳුමේ හිටින තුරුම.
"මටත් දරාගන්න පුළුවන් සීමාවක් තියනවා දරුවෝ"
ඔහු පැවසුවෙ මාගෙ හිස අතගාමිනි.  ඒ වදන් වල තේරුම් මම නොදනිමි. ගැලප්න්නට එකම හේතුවක් වත් නොතිබෙද්දී ආදරය කරන මිනිසුන් අතර, නොගැලපීමක් නොපෙනෙන නොගැලපීමක් මුල් කරගෙන වෙන්ව යාමට අවැසි වූ ඔහුට දරාගැනීමට ඇත්තේ කුමක්දැයි සෙවීමට තරම් වීර්ය ඉතුරු වී නැත්තේය. වැටෙන්නට පුලුවන් උපරිමය වැටී කඳුලු පාර දිගේ ඇවිදින මට හොඳටෝම වෙහෙසය.
අඳුර වැටී විදුලි පහන් එලි දැල්විය. ඒ පහන් එලි වල ආලෝකය අඩුවක් නැත. ඒ ආලෝකයට පෙම් බැඳි ඔහුත් මමත් ආයේ කවමදාකවත් මෙහි නොඑන වග ඒ විදුලි පහන් දන්නේ නැත. කම්මුල් ගැහෙද්දී , දෙතොල් වෙව්ලද්දී පුලුවන් තරම් තද කරන් හිටි කඳුලු පිට කර දැමුවෙමි. සිනාසීමි යලිත් මොහොතකට පෙර වගේ ඔහු එක්ක..
මෙතුවක් පුරා ආදරයෙන් එක් රැස් කල මතක පිරුනු පුංචි පුංචි කොල කැබලි ටික මා මගේ පසුම්බියෙන් එලියට ගතිමි. මා ඔහුගේ ජීවිතයෙන්ම එලියට විසි වූ පසු උඹලා කුමට මගේ පසුම්බියේ රැඳෙන්නද? හිතට වේදනාය. ඒ කොල කැබලි අතර උද්‍යානයේ රථ වාහන නැවතුම් ප්‍රවේශ පතු එමටය. දවසේ කැමතිම වියදම ☺
මම ඔහුට ආදරේ ප්‍රකාශ කලේද මේ බංකුවේ හිඳය. ඔහුත් මාත් ප්‍රථම වරට සිපගත්තේද මේ බංකුවේ හිඳය. වරක් ඔහුත් මාත් වෙන්වී ගියේද නැවත් එක් වූයේද මේ බංකුවේම. අප ගෙවූ සොඳුරු ප්‍රේම නිමේශයන්  ඔහුටද මාට ද  පසුව දන්නේ මේ බංකුවය.
ඔහු මාව සිපගත්තේය. ඒ හාදු තුන මගෙ නලලත මත තැබුනේ ප්‍රථම වර තැබුවා මෙන්ම සෙනෙහසින් බව මට දැනුනි. මා තවත් දෑස් පියාගෙන හිඳියේ තුනක් නොව කෙතරම් හෝ ලැබීමට ඇති නොතිත් ආශාවෙනි.
" තුනයි තුනයි.  ඊට වඩා නෑ "
ඔහු සිනාසෙමින් පවසද්දී  මම ද සිනාසුනෙමි.
" සතුටින් ඉන්න "  මා ඔහුගේ නලලත සිපගත්තේ උතුරා යන සෙනෙහසිනි. අවසන් වරට මේ තරම් ලඟින් දකින ඒ දුඹුරු පාට ඇස් දෙකේ හිත කකියවන බැල්ම මා මගේ හදවතේ ගැඹුරින්ම හුවා ගතිමි.

ඉතින් අපි එලියට පැමිනියෙමු. වෙනදා මෙන් දෑත් වල එල්ලී හුරත්ල් වෙවී නම් නොවේ. මා නැවත හැරී බැලුවෙමි. තවත් සිය ගනන් පෙම්වතුන් ඉදිරි කාලයේදී මේ බංකුව මත තුරුල්ව හිඳ පෙම් කරනු ඇත. බංකුවට අප නැතුව පාලු නම් කොහෙත්ම නොදැනෙනු ඇත. නමුත් අපට අප වින්ද සෙනෙහසේ මතක සමඟ මේ බංකුව සදහටම හිතේ සනිටුහන් වනු ඇත.
කාලයකදී එකිනෙකාගේ හිත වචනයකින් රිදවීමට මැලි වුනු , රිදෙන හැම විටකම හිත සවි කරපු ඔහුත් මමත් මෙසේ වෙන් කරවන්නට දෛවය තීරණය කලේ ඇයි දැයි මම නොදනිමි. ජීවිතේ පහු ගිය සුන්දර දවසකදී ඒ නපුරු හදවතින් ඔහු මට ප්‍රේම කල වග පමනක්ම දනිමි. හෙට පාන්දර නුවර කෝච්චියෙන් එක හිතක් පිටගම් යනු ඇත. එක හිතක් කොළඹ තනි වන්නේය. දිනක තවත් ගැහැනු හිතක් ඔය හිතේ ගැටෙනු ඇත. අතැගිලි යවා ඔය හිස පිරිමදිනු ඇත. හෙමි හෙමින් ඔය දෙතොල් සිපගනු ඇත. ඒ හැමදේම සමඟ ඔහු සතුටින් හිඳිනු ඇත. ආදරය නම් අනෙකාගේ සතුට පැතීම බව විශ්වාස කරමි. ඔහු හොයන් ගියපු සතුට ඔහුටද මට අහිමිව ගිය සතුට මටද  දවසකදි ලැබෙනු ඇත. නමුදු කඳුලැලි පුරවන් , සිනහා ඉහිරුවන් ඔහුත් මමත් පතපු අපිට අපි හිමි නොවනු ඇත. සදාකාලිකවම...

-ලවංගා ගමගේ


(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)

Comments