කම්පා නොවන් සද මහාමායා...


"කම්පා නොවන් සද මහාමායා..."  ඒ සුද්ධෝදන මහ රජුගේ ආමන්ත්‍රණයයි. සිදුහත් කුමරු ගිහිගෙය හැර යාමෙන් කම්පාවට පත් වන පිය රජුගේ සිතුවිලි සමුදාය ගීයකට ගොනු කල නවමු නිර්මාණයක් ලෙස මෙය හැදින්විය හැකිය.සාම්ප්‍රදායික තේමාවන්ගෙන් බෑරව සාහිත්‍යය නව මානයකින් දකින්නට යොමු කරවන නිර්මාණයකි.
        මෙහි තනුව හා සංගීත නිර්මාණය වේග රිද්මයට අනුරූපව, හඩ පාලනය මගින් පද පෙළෙන් සපයන හැගීම තීව්‍ර කිරීමට මනාව උපයෝගී කරගෙන ඇත.
             අටලෝ දහමින් කම්පා වීම ලෝක සත්වයාට පොදු වූ ක්‍රියාදාමයකි.ඉදින් එය පැල්පතේ මාලිගයේ වුවද එක හා සමාන ය. බාහිරයට කෙතරම් සැඩපරුෂ වුව ද හදවතේ ජීවත් වන මනුෂ්‍යත්වයක් රජ හිතක වුව ද ඇත. මෙහිදී සුද්ධෝදන රජුගේ ජීවිතය කෙරෙහි අවධානය යොමු කිරීමේදී තම පුතුගෙ උපතින් සත් වන දින සිදු වන සිය ආදරණීය බිරිඳගේ වියෝව දරාගෙන පුතණුවන් ඇතිදැඩි කරන රජුට ඔහු ද අහිමි වීම දරා ගත නොහැකි වේදනාවකි. කිරුළ දරන රජෙකුට කදුලු තහනම් බව සිතන ලෝකයා ඉදිරිපිට හඩන්නට තැවෙන්නට නොහැකි තැන රජුට ඉඩ ඇත්තේ තම දේවිය ළග ය.මෙහිදී සැබෑවට ළග නැති වුව ද මහාමායාවන්ට කරන ආමන්ත්‍රණය තුළින් ගම්‍ය් වන්නේ, බිසෝවරුන් කෙතරම් සිටිය ද රජුගේ හිතට සමීප වීමට සමත්ව ඇත්තේ ඈ පමණක් බව ය.සැබෑ ආදරය ළග හිතේ ඇතිවන බැදීම් මරණයට අතුගා දැමිය නොහැකි ය.මෙහි යටි අරුත කෙරෙහි වඩාත් අවධාරණයෙන් බලන විට මෙය රජු විසින් එක්තරා ආකාරයකට තම සිත සනහා ගැනීමට යොදාගත් ආයාසයක් නොවේදැයි සිතේ.
             මහාමායාවන්ගේ වියෝවත් සමග නිස්සාර සසර ගැන දැනීමක්‍ රජු තුළ ඇති බව ද පුතුන් ගිය අරමුණ ගැන වැටහීමක් තිබුණා වුවද,ඒ පරයා නැගෙන පිය සෙනෙහසින් රජුගේ සිත කම්පා වී ඇත.
            ගීයේ දෙවන අර්ධයේ වේග රිද්මය සමග මුසුව ගලා යන පද පෙළකි. එමගින් ශෝකාත්මක බව තීව්‍ර කිරීමට නිර්මාණකරු උත්සාහ කර ඇති බව පෙනේ.ඒ අතර ම පුතු බුද්ධත්වයට පත්ව වඩින තෙක් රජු තුළ ඇති බලාපොරොත්තුව පිළිබඳව කියවේ.
          නමුත් ඒ අතර ම රජුගේ හිතෙහි එක්තරා දෙගිඩියාවකි. පුතුන්ට ලබා දුන් සැප සම්පත් වල අඩුවක් වී දැයි ඔහුට නිශ්චිත නැත.
            තෙවන කොටස තුළ බුද්ධත්වයට පත්ව මාලිගයට වඩින කසාවත් පෙරවූ පුතණුවන් දැක සලිත වන හිතට නොසැලී ඉන්න යැයි රජු කියන්නේ මහාමායාවන් ආදේශ කර ගනිමිනි.

සුමගි සේයා 

Comments

Post a Comment