කහට



               පියස්සෙන් අකීකරු විදියට ගෙට වැදෙන සීතල සුළඟ ඉටි පන්දම් දැල්ලටත් සරදම් කරල මුලූ ගෙදරම අඳූරේ ගිල්ලූවා. ගිණි පෙට්ටියක් හොයා ගන්න බය හිතුණ නිසාම ටෝච් එක පත්තු කළේ ඉතුරු වාක්‍යත් ලියලම නැගිටිනවා කියල හිතාගෙන.  

            ටෝච් එලියත් කණාමැදිරි එළියට දෙවෙනි නෑ. මට හීල්ලූනේ නොදැනීම. ලොකු දුව පාඩම් කරන නිසා ගෙනත් දුන්න බැටරි දාන කෑලි පහේ ටෝච් එක මල්ලී අතින් අතෑරිලා කැඩුණු විත්තිය අප්පච්චි දන්නෙ නෑ. මල්ලිට බැනුම් අහන්න වෙයි කියල ඒ වගක් අප්පච්චිට නොකියන්නයි මං හිතාන උන්නේ. නවකතාවක් කියවනවා වගේ ලාච්චුවේ යට ම තිබිලා හම්බවුන පරණ දිනපොත මගේ මතකය අතිතයට අරන් ගියා. කොච්චර රෑ වෙනකල් පාඩම් කළත් දිනපොත ලියලා නිදාගන්න ඕනි කියල මට කියලා අනේ දුන්නේ අප්පච්චි. 

           ඉහළට ගත්ත හුස්ම පහළට වැටෙන්නෙත් කලියෙන් මම තිගැස්සුණේ අම්මාගේ මිමිනිලි හඩට. අප්පච්චිගේ විලාපය තාමත් කන් පතුළේ දෝංකාර දෙනවා. කැඩිච්ච සිංහල වලින් අම්ම කියන දේ තේරුම් ගත් ඒ හැඟීම, වේදනාව හිතක් පපුවක් තියෙන කෙනෙක්ට නම් දැනෙනවා. 

            මං හිතන් උන්නු විදියට ජීවිතේ ලස්සන ම කාලේ කුරුල්ලෙක්ගෙන් ගිලිහෙන පිහාටුවක්, හුළඟේ පාවෙන අඟුණ මලක් අල්ලන්න දුවන කාලෙ. ඊට පස්සෙ ඒ කාලේ පහු කරලා පාවෙන අඟුණ මලක ලස්සන එක තැනක ඉඳන් දකින්න තරම් හිත මල්වර වුණු කාලෙ. ඒ කාලේ හැම දවසක්ම ලස්සනයි කියල කිව්වට ඒ දවස්වල නම් ඉරත් බය වෙන්නැති අලූත් දවසක් පටන් ගන්න. 

             ඔව් හැම රාත්‍රියක්ම නපුරුයි. මූසලයි. ඒ වගේ නපුරු හඳ නැගුණ දවසක තමයි අපේ ජීවිතෙත් අඳූරට හුරු වෙන්න පටන් ගත්තේ. 

               "ටවුමේ ලොකු කළබලයක්. අර වේලූට කියන්න පවුලත් එක්කම අපේ ගෙදර එන්න කියලා." 

       කන්තොරුවේ ඉඳන් හති දාගෙන ආපු අප්පච්චි මට එහෙම කියනවා යන්තමට මතකයි. මොනවද වෙන්නෙ කියල නොතේරුණත් රේවතීට අපේ ගෙදර නවතින්න එන්න කියල දුවගෙන ගිහින් එක හුස්මට මාත් කිව්වා. එදා මටත් වඩා සතුටු වුණේ මල්ලි. ගොතලා දැම්ම දිග කලූ කොණ්ෙඩ තැනින් තැන හඟවපු සුදු පාට පුංචි පිච්ච මල් හරි ලස්සනයි. ඒ පිච්ච වැලටයි රතු තිලකෙටයි බැන්ද ආලේ හංගගෙන කොළොප්පම් කර කර මල්ලි හිනාවුණු තරම්. අපි තුන් දෙනාම එදා ගොඩක් හිනා වුනා. ජීවිතේ අන්තිම වතාවට අපේ හිනාවට තංගමනි නැන්දයි අපේ අම්මයිත් එකතු වුණා. දළු කහට රැඳූණු තංගමනී නැන්දාගේ අත්වලින් කිරි ගරු`ඩ වගේ සුදු පාට අත් අල්ලාගෙන දෙන්නාම හිනා වුනේ හැම දුකක් සැපක්ම ඛෙදා ගන්නවා කියලා කියනවා වගේ. 

               ඔවු එදා ඉඳන් අද වෙනකල් ඒ දෙන්නාට උරුම උණේ දුකමයි. කලූ රෙද්දකින් මූන වහගත්තු මින්ස්සු ටිකක් ඇවිත් දොර අරිද්දි රේවතී නම් හිතුවේ ගෝනි බිල්ලෝ කියලා. අපි තුන් දෙනාම උස කවිච්චිය යට හැංගෙද්දි අම්මාගේ කන්නලව්ව මැද්දෙ අප්පච්චිලාව ඇදගෙන ගියා. එදා අප්පච්චි මැරුම් කෑවේ රේවති නගාලා අපේ ගෙදර තියාගෙන ආරක්ෂා කරපු නිසා. රේවතීගෙ අප්පයි අපෙ අප්පච්චි දෙන්නම වැලලූවේ එකම වලේ. පොළවට පස් උණෙත් එකටයි. නොදැනීම ගලන කඳූළු සීතලයි කියල දැණුනේ කොහෙන්දෝ ආපු හුළඟක් නිසා. හිත අස්සේ දහසක් සිතිවිලි මොරදෙද්දි වෙනදා වගේම අදත් හිත ගලක් කරගෙන මිදුලට යන්න හිතුවා.

              වැට මායිමේ වතු සුද්ද ගහේ මල් බර වෙලා. ඉස්සර නම් මෙතනින් ඉස්කෝලෙ යන පුංචි එවුන් ඇවිත් මල් කූඩ පුරෝගෙන යනවා. ඒ කාලේ අම්මා හදන බූන්දිත් ඒ පුංචි එවුන්ට දෙනවා. අනේ ...!! රැලි තියලා මැදපු සුදු ගවුම් පොඩි ඇඳගත්තු පුංචි ඈයොන්ගේ හිනාව කොච්චර ලස්සන ද? අම්මගේ ෆර්දාව කර වටේ ඔතාගන්න උන් හරි ආසයි. ලොකු උන්ගෙ හිත්වල තියෙන කහට පුංචි උූන් ළඟ නෑ. 

                 වතු සුද්ද ගහ ළ`ග ලී බංකුව උඩට මල් හැලිලා පරවෙලා ම ගිහින්. ලී බංකුවත් මගේ හිත වගේ. බංකුවේ මල් ටික අයින් කරලා ටිකක් ඉඳගන්න හිතුණා. පරණ දිනපොතත් තවම අතේ. හිතුවක්කාර හුළඟ දිනපොතේ පිටු තොරතෝංචියක් නැතුව එහේ මෙහේ පෙරලනවා. සමහරක් කොළ ඉරිලා. සමහරක් පිටුවල පාට පාටට පාට කෑලිවලින් මල්ලි ඇඳපු කුරුටු බලි. ඔව් මල්ලි පුංචි කාලේ මගේ පොත්වල චිත්‍ර අඳීනවා.  මට මතකයි එයා කැමතිම පාට රතු. දවසක් මම ඒ ගැන ඇහුවම එයා කිව්වේ ලේවල පාට රතු නිසා කියලා. 

" අක්කේ හැමෝටම තියෙන්නේ එකම ලේ. ලේවලට ලේබල් ගහලා නෑනේ." 

 
        මල්ලි වෙනස් විදියට හිතපු කෙනෙක්. අම්මා මුස්ලිම් වෙද්දි අප්පච්චි සිංහල වුන නිසා අපේ ගෙදර තිබුණේ වෙනම සංස්කෘතියක්. මල්ලි එ්කට ගොඩක් ආදරය කළා. එයා කිව්වේ දවසක දෙමළ කෙල්ලෙක් කසාද බඳිනවා කියලා. අපි කොහොම හිතුවත් අප්පච්චි මැරුණට පස්සේ ගමේ මිනිසුන්ම අපිව වෙන් කළා. දහම් පාසල් ගිය දවසක

           " මරක්කලයො පංසල් එන්නේ මොකට ද? " කියලා කරුණාවතී නැන්දා මල්ලිගෙන් අහලා තිබුණා.    

‘‘දුවේ කහට ඩිංගක් බොමු ද? "

          අම්මා ඇහුවා. අම්මත් දැන් පර`ඩැලක් වගේ. මගෙත් ඊට වැඩි වෙනසක් නෑ. ගතින් තරුණ උණත් හිතින් වියපත් වෙලා ගොඩක් කල්. 

ජීවිතේ හොයාගෙන යන්න හීන දැක්ක මට අවසානෙට උරුම වුණේ මියැදෙන හිතක පණ කෙන්දක් වියාගන්න. 

එම්. එස්. සීි. වනසිංහ. 
(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)

Comments