"මොකෝ කෙල්ලේ පයින්ම?""තාත්තා හේනේ"
ඒ මං තනියම යන විට හුගක් දන්න කියන අය අසන පැනයකි.11.30ට අවසන් වන දහම් පාසල ඇරී කවුරුත් අපේ පැත්තට එන්න නැතිනම් මම තනිව ඇවිද එමි.
පෙරදා රැය පුරාවට පොළොවට වැටුනු වැස්සෙන් දොළ පිරී ගොස්ය.පාරේද තැනින් තැන දිය කඩිති හා කුඩා දිය පාරවල්ය.කකුල් දෙකින් ගලවා අතට ගත් සෙරෙප්පු දෙකද අතැතිව හුගක් දේවල් සිතමින් වටපිට බලමින් ගෙදරට ඒමට පැයක් විතර වැය කිරීමට සිදු වේ.
ආත්තම්මලාට අද නඩු දවස වන්නට ඇත.නැත්නම් එහි දොර නොවැසුණු දවසක් නැත.ජම්බු ගසේ ගෙඩි තවම ගැට සන්දියේය.ගෙට ගොඩ වී තේරැමක් නැති නිසා පිට මගම යළි ගමන් ඇරඹිමි.
මඩ කඩිති වලින් තවම නොවේලුනු මඩ ඇගිළි කරැ අස්සෙන් උඩට මතුව එනවිට ඇසෙන චිරිස් හඩට ඇති කැමැත්ත නිසාම මඩ වලවල් මග නොඈරිමි.
ඈතින් පෙනෙන අපේ කදු පන්තියට උඩින් වැහි වළාවකි.අහස දම් පාටය.කුඩයක් ළග නැතත් අඩිය පොඩ්ඩක් වේගෙන් තැබීමට කම්මැලිය.
පිළිවෙලකට නොකැපුණු කොණ්‍ඩයෙන් දාඩිය බේරේ.අව්ව සැර වැස්ස ළග හින්දා වන්නට ඇත.
බෑගයට අත දමා 5ක් සොයා ගතිමි.පුංචි මාමාගේ කඩයට තව දුරය.අද නම් අයිස් පැකට් 1ක් කොහොම හරි ගනිමි.
දහම් පාසලට අදින්නේ පරණ සුදු ගවුමකි.එහි දාරය දිගේ වංඇපල ඇට ඇනී ඇත.කකුලට දැනෙන විට කිති කැවේ.පාර දෙපැත්තේ කැලේ වැවී තාරැකා මල්,දුටුසපුටා මල් ,රට තණකොළ පාරේය.යන මග දිගට මේවායින් මගේ දෙඅත් පිරේ.
"කඩේ කවුද" , "කඩේ කවුරුත් නැත්දෝ" ඒ පුංචි මාමාගේ කඩයයි.කඩේට අයිස් පැකට් දැම්මේ ළගදිය.රැපියල් 5 දී අයිස් පැකට් 1 ගතිමි.වෙනදා ගන්නේ සත 25 බුල්ටෝ ටොෆිය.අද රැපියල් 5ක් ම තිබෙන නිසා අයිස් පැකට් 1ක් ගතිමි.
"මොකෝ උඹ අද තනියම?"
අයියෝ මට දැන් උත්තර දී ඇති වී ඇත.
කන්ද පල්ලමේ දොළෙහි වතුර පිරී යට ලියද්දෙන් යායට වැලි හෝදාගෙන විත් ඇත.මේ අපේ ගේ ඉස්සරහින් බහින දොළයි.කළින් දිනක රෑ මවට ගෙදර ගෙන යාමට අමතක වූ බාල්දියක් සොයා දොල දිගේ එදින අපි පහළට විත් පාරට වැටුනේ මෙතනිනි.බෝක්කුවෙන් යට බැලූ කල වැලි ගොව්වෝ,ඉස්සෝ,කණයෝ ලොකු වලකට එකතු වී සිටී.කලින් දා මහ වැස්සට මුන් ගසා ගෙන එන්නට ඇත.
යළි ගමන් ඇරඹූ මම චූටි නැන්දලාගේ ගහ යටින් වෙරළු ඇහිද ගත්තෙමි.ලුණු දමා කන්න නම් හුගක් ඇහිලීමට සිදු වේ.අතක් පිරෙන්න අහුලා ගත් මා ගෙඩියක් කටට දා ගත්තෙමි.
සෑම දිනම බෝවිටියා ගස් පසු කරන විට ඉන් කඩා ගන්නා කොළයක දෙපස පලු 2 වෙන් කරන පුරැද්දට අදද වෙන් කලෙමි.
දැන් නම් 12ට ළග ඇති.මාගේ සෙවනැල්ලේ ඔළුව මට පෑගිය හැක.
"යමන් කෙල්ලේ උබ අපේ ගෙවල් ගාවින් දාන් යන්නම්"
මං පයින්ම ගෙදර පැමිණි දවස් අල්පය.අපේ ගෙවල් වලට හැරෙන පාරෙන් කලු සීයා මාව බැස්සුවේය.මේ ටික දුරේ කදු බහුලය.කන්ද මහන්සියෙන් නැග පල්ලම ඔටෝ දුවමි.ගෙදර ළග කන්දේ බෑවුම වැඩිය.දොළෙන් මඩ සෝදා ගෙන මිදුලේ ඇති ටැප් එකෙන් වතුර කළයක් බීගෙන බීගෙන ගියෙමි.මේ මාගේ ගමනාන්තයයි.
පැයක් දෙකක් වැය කර පයින්ම ගෙදර ගිය මාගේ කුඩා කාලයට අදටත් මා පෙම් කරමි.
PM හිරිමුතුගොඩ
(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)
Comments
Post a Comment