කොරෝනා අභියෝගය | COVID-19
සටහන : කනිශ්කා නන්දරත්නමෙම වසර ආරම්භයේ සිටම සොබාදහම මිනිසාට අභියෝග කරන්නට පටන්ගෙන තිබේ. එහි උච්චතම අවස්ථාව COVID-19 ලෙස ලොව පුරා ව්‍යාප්ත වෙමින් අනුකම්පා විරහිත ලෙස මිනිසාට පහර දෙමින් සිටී.
කොරෝනා වෛරසය හෙවත් SARS-COV-2 මගින් COVID-19 වසංගතය හටගෙන තිබේ. මෙම වෛරසය සතුන්ගෙන් මිනිසාට ව්‍යාප්ත විය හැකි (zoonotic) වෛරසයකි. කොරෝනා වෛරස බොහෝමයක් මිනිස් වර්ගයාට ව්‍යාප්ත නොවී සතුන් අතර ව්‍යාප්ත වෙමින් පවතී. මෑත ඉතිහාසයේ වාර්තා වූ කොරෝනා වෛරස දෙකක් ඔබගේ මතකයේ ඇතැයි සිතමි. ඉන් පළමුවැන්න 2002 වසරේ ව්‍යාප්ත වූ SARS-COV (Severe Acute Respiratory Syndrome - COV) වන අතර එය උරුලෑවා (Civert-cat) ගෙන් මිනිසාට ව්‍යාප්ත වූවකි. අනෙක් වෛරසය 2012 වසරේ ව්‍යාප්ත වූ MERS-COV (Middle East Respiratory Syndrome - COV) වන අතර එය ඔටුවන්ගෙන් මිනිසාට ව්‍යාප්ත වූවකි. කොරෝනා වෛරස රෝග ව්‍යාප්තියේ අලුත්ම සාමාජිකයා 2019 වසරේ අග භාගයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍ර කොටගෙන ව්‍යාප්තිය ආරම්භ කළ COVID-19 හෙවත් Corona Virus Disease නම් වේ.
මෙම වෛරසය කෙල බිඳිති , නාසයෙන් පිට වන ශ්‍රාවයන් සමඟ ආසාදිතයෙක් කසින විට , කිවිසුම් අරින විට බාහිරයට නිදහස් වන අතර එම වෛරසය අඩංගු බිඳිති හෝ ශ්‍රාවයන් නිරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුළු වීමෙන් නව ආසාදිතයෙකු බිහි කරයි.
COVID-19 මිනිසුන් අතර එකිනෙකට වෙනස් ප්‍රතිඵල ඇති කරයි. ශ්වසන රෝගයක් වන මෙය සුළු , මධ්‍ය රෝග ලක්ෂණ පෙන්වමින් හටගෙන විශේෂ ප්‍රතිකාර වලින් තොරව සුව වූ අවස්ථා ඇති අතර ඇතැම් පුද්ගලයන්ට මාරාන්තික වේ. හෘද රෝග , දියවැඩියාව , ශ්වසන ආබාධ , පිලිකා රෝග වැනි සෞඛ්‍ය ගැටළු පවතින පුද්ගලයන්ට මෙන්ම වයස්ගත පුද්ගලයන්ටද COVID-19 දැඩි අවදානම් සහගත වේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් උණ , මහන්සිය , වියලි කැස්ස වැනි රෝග ලක්ෂණ මූලිකව පෙන්නුම් කරයි. මෙම රෝග ලක්ෂණයන්ට අමතරව හුස්ම ගැනීමේ අපහසුතා , ඇඟ පත වෙහෙස , උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ හටගන්නා අතර ඇතැමුන්ට ඔක්කාරය , පාචනය , හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ ද හටගනී. මූලික රෝග ලක්ෂණ ඇති වූ වහාම ස්වයං නිරෝධායනයට ලක්වී වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය වේ.
COVID-19 හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත. කොරෝනා වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. මින් පළමුවැන්න සක්‍රීය ආසාදිතයෙකු දැයි හඳුනාගැනීමට භාවිතා කළ හැකි Molecular test වේ. rRT-PCR (Real Time Reverse Transcription - Polymerase Chain Reaction) මෙම වර්ගයට අයත් අතර මෙමගින් රෝගී සාම්පල තුළ වෛරස RNA අඩංගු වේ දැයි පරීක්ෂා කරයි. COVID-19 හඳුනාගත හැකි අනෙක් පරීක්ෂණ ආකාරය Serology test නම් වේ. පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු ප්‍රතිදේහ පරීක්ෂා කිරීම මගින් එම පුද්ගලයාට රෝගය වැළඳී තිබී ඇත් දැයි මෙමගින් පරීක්ෂා කළ හැක. ELISA , Micro neutralization assay වැනි පරීක්ෂණ මේ සඳහා සිදු කරනු ලබයි.
COVID-19 වසංගතයෙන් මිනිස් වර්ගයා බේරා ගැනීමේ සාමුහික වගකීම අප සියලු දෙනා සතුය. මෙම වසංගතය වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය වෛරසයේ ව්‍යාප්තිය අඩපණ කිරීමය. ඒ සඳහා
• අඛණ්ඩව සබන් හා වතුර යොදා අත් සේදීම.
• Alcohol අඩංගු විෂබීජනාශක මගින් අත් පිරිසිදු කර ගැනීම.
• අවම වශයෙන් පුද්ගලයන් අතර මීටර් එකක පරතරයක් තබාගෙන කටයුතු කිරීම.
• මුහුණ ඇල්ලීමෙන් වැළකීම.
• කසින විට , කිවිසුම් යන විට මුඛය හා නාසය ආවරණය කර ගැනීම.
• රෝගී බවක් දැනේ නම් නිවසට වී සිටීම. (ස්වයං නිරෝධායනය)
• පෙනහලු ක්‍රියාකාරීත්වය අඩපණ කරන දුම්බීම වැනි ක්‍රියා වලින් වැළකීම.
• විශාල වශයෙන් මිනිසුන් ගැවසෙන ස්ථාන වලට නොයාම , අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකීම ආදිය සිදු කළ හැකිය.
මිනිසා COVID-19 සමඟ සටන් වදින අතර සොබාදහම යලි පණ ගසා නැගී සිටියි. මිනිසා සතු බුද්ධිය හා කුසලතාවන් කොරෝනා වසංගතය පරාජය කළද සොබාදහම මිනිසාට අමතක නොවන පාඩමක් කියා දී හමාරය.
සටහන - කනිශ්කා නන්දරත්න

Comments
Post a Comment